‘කැබිනෙට්ටුව සුදු අලියකු නොවෙයිද?' -ඇමැති වාසු

Image caption 'මට මේ ආණ්ඩුවත් එක්ක ගැටළුවක් තියෙනවනම් තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන පමණයි'

පළාත් සභා සුදු අලියකු බවට ඇතැමුන් කරන චෝදනා ප්‍රතික්ෂේප කරන වාසුදේව නානායක්කාර ඇමතිවරයා ‘කැබිනෙට්ටුව සුදු අලියකු නොවේදැ’යි පෙරළා ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් කොළඹට වී සිටියදී ප්‍රදේශයට වඩාත් බැඳීමකින් සේවය කරන්නේ පළාත් සභා මන්ත්‍රිවරුන් බවයි වාසුදේව ඇමතිවරයා කියා සිටියේ.

ව්‍යවස්ථා සංශෝධන සඳහා පත් කොට ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගී නොවන පක්ෂ ස්වකීය වගකීම පැහැර හරින්නේ යැයි චෝදනා කරමිනු යි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය වාසුදේව නානායක්කාර මෙසේ පැවසුවේ.

රජය විසින් පත් කරන ලද කාරක සභාව වර්ජනය කරමින් විරුද්ධ පක්ෂය කියා ඇත්තේ රජය පළමු කොට තමන්ගේ යෝජනා ඉදිරිපත් කළ යුතු බවයි.

වාසුදේව නානායක්කාර අමාත්‍ය වරයා ජාතික භාෂා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී මාධ්‍යවේදීන් හමුවේ විරුද්ධ පක්ෂ හැඳින්වුයේ වගකීමක් නැති පක්ෂ ලෙසයි.

දහ තුන් වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව රජය සමඟ කිසිදු මතභේදයක් නොමැති බව වාසුදේව අමාත්‍යවරයා සඳහන් කළත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව පිළිගත්තේය.

'ප්‍රජාතන්ත්‍රවාදය මදි'

‘මට මේ ආණ්ඩුවත් එක්ක ගැටළුවක් තියෙනවනම් තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මේ ආණ්ඩුව කියන කරන දේවල් මට මදි.’

ඉන්දියාවේ බලපෑම් පිළිබඳව මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වාසුදේව අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න ඉන්දියාවට ‘හිසරදයක්’ වී ඇති අතර ඉන්දියාව ඒවාට කිසිසේත් මැදිහත් නොවන බවයි.

බෙදුම් වාදයට හොඳම විසඳුම වන පළාත් සභා අහෝසි කිරීමට රජය ක්‍රියා කළහොත් තමා ආණ්ඩුවෙන් ඉවත් වන බව ජාතික භාෂා සහ ඒකාග්‍රතා ඇමති වාසුදේව නානායක්කාර අවධාරණය කළේය.

පළාත් සභා අහෝසි වීමේ අවදානමක් නොමැති බව මාධ්‍යවේදියෙකු පෙන්වා දුන් අවස්ථාවේදී, ඒ පිළිබඳව ද තමාට සහතිකයක් දිය හැකි බව වාසුදේව අමාත්‍යවරයා කියා සිටියේය.

‘පළාත් සභා අහෝසි කළොත් එබඳු ආණ්ඩුවක මම ඉන්නේ නැහැ. ...... ඒක තමයි, ඒක කරන්නෙ නැති හින්ද තමයි මම එහෙම කියන්නෙ.’