බලපෑම්වලට නතු නොවී 'පළාත් සභා අහෝසි කරන්න'

Monks' protest in Maharagama
Image caption පළාත් සභාවලට පක්ෂ ඇමතිවරුන් 'ඊළඟ මැතිවරණයේදී පරාජය කරනවා'

ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවෙන් එල්ල වන බලපෑම්වලට නතු නොවී වහාම පළාත් සභා අහෝසි කරන්නැයි භික්ෂූන් වහන්සේගේ නායකත්වයෙන් යුත් සංවිධානයක් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

මහරගම නගරයේදී ජන හමුවක් ඇමතූ පළාත් සභා අහෝසි කිරීමේ ජාතික එකමුතුවේ නායකයෝ පළාත් සභාවලට පක්ෂව අදහස් දක්වන ආණ්ඩුවේ සහ විරුද්ධ පක්ෂයේ දේශපාලන නායකයන්ට ද අනතුරු ඇඟවීමක් කළහ.

විශේෂයෙන්ම පොලිස් බලතල පළාත් සභාවලට විමධ්‍යගත කළ හොත්, ජාතික පොලිස් සේවාව අකර්මන්‍යව ගොස් විනාශ වනු ඇති බවයි, සිංහල රාවය සංවිධානයේ ආචාර්ය මැදගම අඹේතිස්ස හිමියන් කියා සිටියේ.

ඇමතිවරුන්ට අනතුරු ඇඟවීමක්

පළාත් සභා ක්‍රමයට පක්ෂව අදහස් දක්වන අමාත්‍යවරුන් සහ විරුද්ධ පක්ෂවල මන්ත්‍රීවරුන් වහාම සිය මතය වෙනස් කර ගත යුතු බව පවසන බොදු බල සේනා සංවිධානයේ නායක කිරම විමලජෝති හිමියෝ, එසේ නොකළහොත් ඉදිරි මැතිවරණයේදී ඔවුන් පරාජය කිරීමට කටයුතු කරන බවට අනතුරු ඇඟවූහ.

කෙසේ නමුත් පළාත් සභා අහෝසි කළ හොත් අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වන බව ඊයේ කියා සිටි ජාතික භාෂා පිලිබඳ අමාත්‍ය වාසුදේව නානායක්කාර තමන් එසේ අභියෝග කරන්නේ ආණ්ඩුව පළාත් සභා අහෝසි නොකරන බව හොඳින්ම විශ්වාස නිසා බව ද සඳහන් කළේය.

මේ අතර කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත ගිය බොදු බල සේනා සංවිධානයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට බලපෑම් නොකරන්නැයි ඉල්ලා සිටින පෙත්සමක් මහ කොමසාරිස් කාර්යාලයට භාර දුන්හ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර