බාල වර්ගයේ ගෑස් වර්ගවලින් ප්‍රවේශම් වෙන්න - එජාප

Gas cylinders
Image caption 'ගෑස් වලින් උයන කොට ඉතාම පරිස්සමෙන්, හොඳ කල්පනාවෙන් ඉන්න'

නිසි පරිදි අවශ්‍ය මොහොතේ ගෑස් ආනයනය නොකොට අවසාන මොහොතේ ප්‍රමිතියකින් තොර ගෑස් ගෙන්වා බෙදා හැර ඇතැයි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට චෝදනා කරයි.

සිය ගෑස් සංචිත සියල්ල අවසන් වන තුරු අලුතෙන් තොග ඇනවුම් නොකොට ඒ මගින් හදිසි තොග ඇනවුම් කිරීමට නිලධාරීන්ට අවස්ථාව සලසා දුන් බවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා රජයට අයත් ලිට්රෝ සමාගමට චෝදනා කරයි.

''තියෙන බඩු ටික ඉවර වෙන කොට බාල ගෑස් නැවක් හදිසියේම ජූනි 17 ගෙනත් රට පුරාම මෙට්‍රික් ටොන් 1,116 ක් බාල ගෑස් බෙදා හැරලා," යනුවෙන් ඔහු සඳහන් කළේ කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින්.

"ඒ නැවේ ඉතුරු මෙට්‍රික් ටොන් 2,884 ලාෆ් ගෑස් සමාගමේ ඇහැ වහලා ඒකට විකුණලා. ඒ නිසා අද ලිට්රෝ ගෑස් ගත්තත්, ලාෆ් ගෑස් ගත්තත් ඔක්කොම ප්‍රමිතියෙන් බාල ගෑස්," ඔහු තවදුරටත් කියා සිටියේය.

බාල වර්ගයේ ගෑස් භාවිත කරන පාරිභෝගිකයන්ගේ ජීවිත හානි වුවහොත් එම ජීවිතවලට වග කියන්නේ දැයි ප්‍රධාන විපක්ෂය ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.

"ආණ්ඩුව බාල ගෑස් තොගයක් ගෙනත් තියෙන්නේ. ඒ නිසා ගෑස් වලින් උයන කොට ඉතාම පරිස්සමෙන්, හොඳ කල්පනාවෙන් ඉන්න," යනුවෙන් මන්ත්‍රීවරයා පාරිභෝගිකයන්ට අනතුරු ඇඟවීමක් කළේය.