ලංකාවෙන් ඉවත්ව යන බවට ඇමෙරිකානු වතු සමාගමෙන් 'තර්ජනයක්'

A tes estate in Sri Lanka
Image caption ඝාතනයට මාසයකට පෙරාතුව "පළාතේ ප්‍රාදේශීය දේශපාලකයන්" නිහාල් පෙරේරාට පහර දුන් බව සංගමය පවසයි

දැරණියගල නූරිය වතුයායේ අධිකාරී නිහාල් පෙරේරා ඝාතනය කිරීම හේතුවෙන් එහි පාලනයෙන් ඉවත් වන බව එය පාලනය කරන ඇමෙරිකානු වතු සමාගම ආණ්ඩුවට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසයි.

පවතින වාතාවරණය යටතේ තවදුරටත් වතුයායේ පරිපාලනය පවත්වා ගෙන යා නොහැකි බව ඇමෙරිකානු වෝල්ටර්ස් බේ සමාගම වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ වෙත ලිපියකින් දන්වා යවා තිබෙන බවයි, සංගමයේ සභාපති නිසල ජයවර්ධන පවසන්නේ.

ඔහු ඒ බව කියා සිටියේ ඝාතනයේ සැබෑ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම පිණිස ක්‍රියා නොකරන බවට බලධාරීන්ට චෝදනා කරමින් පැවති උද්ඝෝෂණයකින් අනතුරුව බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

'දූෂණයට සහ භීෂණයට එරෙහිව'

වතුයායේ අධිකාරී නිහාල් පෙරේරා පසුගිය සිකුරාදා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබෙන නමුත් ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් අත් අඩංගුවට ගත් පිරිස අතර නැති බවද ඔහු පැවසීය.

ඝාතනයට මාසයකට පමණ පෙරාතුව "පළාතේ ප්‍රාදේශීය දේශපාලකයන්" නිහාල් පෙරේරාට පහර දුන් බව පවසන වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා, ඉන් අනතුරුව ඔහු ඒ පිළිබඳව වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහට සහ පොලීසියට පැමිණිලි කළ බව ද සංදේශයට කියා සිටියේය.

"ඒ වෙලාවේ සාධාරණයක් ඉෂ්ට වුනා නම් මේ මහත්තය මෙහෙම මරු දකින්නේ නෑ," යනුවෙන් ද ඔහු කියා සිටියේය.

වතුයායේ සිදුවෙමින් පැවති "හොරකමට, දූෂණයට සහ භීෂණයට එරෙහිව" රජයේ දේපොළ ආරක්ෂා කිරීම සඳහා ඔහු ගෙන ගිය ක්‍රියාදාමය නිහාල් පෙරේරා ඝාතනයට ලක්වීමට හේතුව බව සංගමයේ මතයයි.

එබැවින් මේ තත්ත්වයට වහාම මැදිහත් වන මෙන් වතු අධිකාරීවරු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර