'කලපු නැට්ටා' ඉන්දියාවේදී අත් අඩංගුවට

කඩල් පල්ලි නමින් දෙමළ භාෂාවෙන් ද කලපු නැට්ටා නමින් සිංහල භාෂාවෙන් ද හැඳින්වෙන (Pipe Fish) මාළු කිලෝ ග්‍රෑම් 110 ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී ඉන්දියාවේදී අත් අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ චෙන්නෙයි සිට රාමනාදපුරම් හරහා ශ්‍රී ලංකාව බලා ප්‍රවාහනය කරමින් තිබියදී එරට රෙගු අධිකාරීන් විසින් ඒවා ප්‍රවාහනය කළ තිදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.

මේ මත්ස්‍යයා මැරීම ඉන්දියාවේ තහනම් කොට ඇති අතර ආරක්‍ෂිත මත්සයෙක් ලෙසද නම් කොට තිබේ

තමිල් නාඩු ධීවරයන්ට අතර මැදියන් විසින් මාළු කිලෝවක් සඳහා ඉන්දීය රුපියල් 2000 සිට 3000 දක්වා මිලක් ගෙවන අතර ශ්‍රී ලංකාවේදී ඔවුන් කිලෝවක් ඉන්දීය රුපියල් 20,000 සිට 30,000 දක්වා අලෙවි කරන බවයි ඉන්දීය බලධාරීන් බීබීසී දෙමල සේවයට පැවසුවේ.

වාජීකරන

එම මසුන් වාජීකරන ඖෂධ නිපදවීම් සඳහා චීනය, තායිලන්තය, මැලේසියාව යන රටවලට යවන බවයි තමිල්නාඩු ධීවරයන් පවසන්නේ.

මේ පිළිබඳව කළ විමසීමකදී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව සහ ජාත උරුමයන් සුරකීමේ අංශ භාර අධ්‍යක්‍ෂ සමන්ත ගුණසේකර පැවසුවේ මේ මත්ස්‍යයන් ශ්‍රී ලංකාවේ සුලභව සිටින අතර තහනම් මත්ස්‍ය විශේෂයක් ද නොවන බවයි.

මේ මත්ස්‍යයා බොහෝ රටවල විශේෂයෙන් කලපු ආශ්‍රිතව ජීවත් වන බව පැවසූ ඔහු එම මත්ස්‍ය පවුලට මුහුදු අශ්වයාද අයත් වන බව පැවසුවේය.

එම පවුලේ මත්ස්‍ය විශේෂ 260 පමණ සිටින අතර ශ්‍රී ලංකාවේ දක්නට හැක්කේ ‘කලපු නැට්ටා’ සහ ‘පුංචි ඇට තෙලියා ’ යන විශේෂ දෙක පමණක් බවයි ශ්‍රී ලංකා රේගුවේ, ජෛව විවිධත්ව සහ ජාත උරුමයන් සුරැකීමේ අංශය භාර අධ්‍යක්‍ෂ සමන්ත ගුණසේකර පැවසුවේ.

බොහෝ දෙනෙකු දන්නේ මේ පවුලේ පිරිමි සතා ගැබ් ගන්නා බවට යැයි කියා සිටි ඔහු ඇත්ත වශයෙන්ම සිදු වන්නේ පිරිමි සතාගේ කෝෂයක ගැහැණු සතා බිත්තර තැන්පත් කිරීම බව සඳහන් කළේය.

දීර්ඝ කාලීනව ගැබ දරා සිටින්නේ පිරිමි සතා නිසා මෙය සත්ව ලෝකයේ අපූර්වත්වයක් යැයි ද එම හේතුව නිසාම මේ මසුන්, විශේෂයෙන්ම, මුහුදු අශ්වයා වාජීකරණ සඳහා චීනය වැනි රටවල දී යොදා ගන්නා බවට විශ්වාශ කෙරෙන බව පැවසුවේය .