එක්සත් රටක් තුල බලය විමධ්‍යගත කරමු - ටීඑන්ඒ

President Rajapaksa meets TNA leader (file photo)
Image caption සාකච්ඡාව සිදු වූයේ ජනාධිපතිවරයාගේ ආරාධනයෙන්

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට අදාළව නොවිසඳී පවතින සියලු ගැටළු විසඳීමෙහිලා සිය අභිලාශය ජනාධිපති මහින්ද රාජපක්ෂ යළිත් අවධාරණය කළ බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කොට තිබෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී.

එක්සත් ශ්‍රී ලංකාවක් තුල සියලු ජාතීන්ට පිළිගත හැකි දිගු කාලීන දේශපාලන විසඳුමක් සොයා ගැනීමෙහි ලා සිය පක්ෂයේ කැපවීම සම්බන්ධන් මන්ත්‍රීවරයා එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාට යළිත් දැනුම් දුන් බව දෙමළ ජාතික සන්ධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් එම හමුව පැවැත්වුනේ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිව් ශංකර් මෙනන් ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමෙන් දින දෙකකට පසුවයි.

ඉන්දියාවටත්, ජාත්‍යන්තර ප්‍රජාවටත් පොරොන්දු වූ පරිදි දහ තුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා යන පරිද්දෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව බලය විමධ්‍යගත කරනු ඇතැ’යි ශිව් ශංකර් මෙනන් ගේ සංචාරය පිළිබඳව නිවේදනයක් නිකුත් කළ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

පාර්ලිමේන්තු කාරක සභාවේ දී ඒ පිළිබඳව සාකච්ඡා කිරීම වඩාත් උචිත බව ජනාධිපතිවරයා සහ ඉන්දීය ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශකවරයා එකඟ වූ බවයි, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිළ වෙබ් අඩවිය සඳහන් කරන්නේ.

විදේශ අමාත්‍ය ජී එල් පීරිස් සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ද ජනාධිපතිවරයා සහ සම්බන්ධන් මන්ත්‍රීවරයා අතර සාකච්ඡාවට සහභාගි වූහ.