ගිලුණු නැවේ නැවියන් එකොලොස් දෙනකු 'පණ පිටින්'

  • 14 ජූලි 2013
Somali life boats
'එකොලොස් දෙනෙකු ගේ ජීවිත බේරිලා. තවත් හතර දෙනෙක් තවමත් අතුරුදහන්'

මුහුදු කොල්ලකරුවන් විසින් සෝමාලි වෙරලින් ඔබ්බේ රඳවා තබා සිටියදී මුහුදේ ගිලුණු නෞකාවේ කාර්ය මණ්ඩලයෙන් පිරිසක් නෞකාව ගිලෙමින් තිබියදී වෙනත් ධීවර යාත්‍රාවකට මාරුවීමට සමත් වී තිබෙන බව බලධාරීහු පවසති.

කෙසේ නමුත් කොල්ලකරුවන්ගේ භාරයේ පවතින ඔවුන් මාරු වූ නාහෙම් 3 යාත්‍රාවද මුහුදේ ගිලී යාමේ තර්ජනයක් තිබෙන බවයි, නැගෙනහිර අප්‍රිකානු කලාපීය සමුද්‍රාරක්ෂක කාර්යාංශයේ ප්‍රධානී ජෝන් ස්ටීඩ් බීබීසී සංදේශයට කියා සිටියේ.

"එකොලොස් දෙනෙකු ගේ ජීවිත බේරිලා. තවත් හතර දෙනෙක් තවමත් අතුරුදහන්," ඔහු පැවසීය.

ඔවුන් හෝබියෝ නගරබද වෙරළට ගොඩ ගසා ඇති ජීවිතාරක්ෂක බෝට්ටුවල නැගී එන්නට ඇතැයි සමුද්‍රාරක්ෂක කාර්යාංශය සැක කරයි.

'දුරකථනයෙන් ඇමතුවා'

සෝමාලියාවට සැතපුම් නව සියයක් එපිටදී 2010 නොවැම්බරයේදී මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගෙන තිබුණු මැලේසියානු සමාගමක් සතු අල්බෙඩෝ භාණ්ඩ නෞකාව ඉරිදා ගිලා බැස්සේය.

ප්‍රධාන ඉංජිනේරු නලීන් වක්වැල්ල ඇතුළු ශ්‍රී ලාංකිකයන් හත් දෙනෙක් නෞකාවේ සේවය කළහ.

අතුරුදහන් වී සිටින සිවු දෙනා ශ්‍රී ලාංකිකයන් වන අතර, දිවි බේරාගත් අයගෙන් තුන් දෙනකු ශ්‍රී ලාංකිකයන් බව සනාථ වී ඇතැයිද ජෝන් ස්ටීඩ් සංදේශයට පැවසීය.

මේ අතර නෞකාවේ සේවය කළ නිරෝෂන් පෙරේරා, නෞකාව ගිලීමෙන් දින කිහිපයකට පසුව පසුගිය බදාදා තමන්ට ඉතා කෙටි දුරකථන ඇමතුමක් දෙමින් තමන් සහ දෙවැනි ඉංජිනේරු බිස්තාමි ජීවතුන් අතර සිටින බව දැනුම් දුන්නේ යයි බිරිඳ චම්මිකා පෙරේරා සංදේශයට කියා සිටියාය.

පකිස්තාන, බංග්ලාදේශ, ඉරාන හා ශ්‍රී ලාංකික පුර වැසියන් ඇතුළු විසි තුන් දෙනෙක් පැහැර ගනු ලැබූ අවස්ථාවේ එහි සේවය කළහ.

ඒ අතුරින් පකිස්තාන කාර්ය මණ්ඩලය රජයේ ද මැදිහත් වීමෙන් ඉකුත් අගෝස්තුවේදී නිදහස් කරවා ගැනීමට එම පවුල් වල සාමාජිකයෝ සමත් වූ නමුත් ශ්‍රී ලංකා රජයෙන් එවැනි මැදිහත් වීමක් නොවුණු බවයි, ප්‍රධාන ඉංජිනේරුවරයාගේ සොයුරු ජයාන් වක්වැල්ල පසුගියදා සංදේශයට කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර