ගෘහස්ථ හිංසනයෙන් 'ශ්‍රී ලංකාවට පස්වන ස්ථානය'

  • 2013 ජූලි 14
WFR
Image caption සෑම විනාඩි 90 කටම වරක් ශ්‍රී ලංකාවේදී කාන්තාවක දූෂණයට ලක් වන බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය පවසයි

ලෝකයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ රටවල් අතරින් ශ්‍රී ලංකාවට පස්වැනි ස්ථානය හිමිවී තිබෙන බව කාන්තා අයිතිවාසිකම් සංවිධානයක් පවසයි.

රටේ පැතිර යමින් පවතින අපරාධ රැල්ල හා සමගාමීව කාන්තාවන් සහ ළමුන් ඉල්ලක්ක කරගෙන කෙරෙන ලිංගික හිංසනයන් සහ අපරාධ ඉහල යමින් පවතින බව ද අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය ප්‍රකාශ කරයි.

එහි සම සභාපතිනි සරෝජා සාවිත්‍රී පෝල්රාජ් එම අදහස් පළ කළේ කොළඹදී මාධ්‍යවේදීන් අමතමින්.

එමෙන්ම සෑම විනාඩි 90 කටම වරක් ශ්‍රී ලංකාවේදී කාන්තාවක දූෂණයට ලක් වන බවයි ඇය කියා සිටියේ.

'ආණ්ඩුව වග කිව යුතුයි'

පොදු ප්‍රවාහන සේවාවන් හි ගමන් ගන්නා කාන්තාවන් සියයට අනූ පහක්ම අතවරවලට ලක්වන බව පෙන්වා දෙන අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය, සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ පවතින්නේ කාන්තාවගේ ගරුත්වය විනාශ කරන පරිසරයක් බව ද පෙන්වා දෙයි.

පවත්නා රජය එම තත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවයි, සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ.

"ප්‍රාදේශීය දේශපාලනඥයන්ට අපරාධ සිදු කිරීමට සහ අපරාධකරුවා ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් මේ රට තුල නිර්මාණය වෙලා තියෙනවා. ඒක මේ ආණ්ඩුවේ ඉහල සිට පහලටම ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක්," ඇය පවසන්නීය.

ජාතීන් අතර විශ්වාසය බිඳ වැටීම සහ ආගම්වාදය ඉදිරියට ගනිමින් කෙරෙන අන්තවාදී ව්‍යාපාර රටේ අපරාධ රැල්ල වැඩිවීමට ප්‍රධාන හේතුවක් බව සරෝජා සාවිත්‍රී පෝල්රාජ් පෙන්වා දෙන්නීය.

අපරාධවලට ගොදුරු වන කාන්තාවන්ට එල්ල වන තර්ජන හමුවේ වාර්තා වන අපරාධ ප්‍රමාණයට වඩා සැබෑ අපරාධ ප්‍රමාණය ඉතා වැඩි බව පවසන කාන්තා හිමිකම් සංවිධානය, මෙම අපරාධ රැල්ලට එරෙහිව ලබන 18 වැනි දින රට පුරාම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව සඳහන් කරයි.