මස් ප්‍රවාහන ලොරියට කොළඹදී ගිනි

  • 2013 ජූලි 16

බෞද්ධ භික්ෂුන් වහන්සේ අඳින කහ සිවුරට සමාන ඇඳුමින් යුත් පිරිසක් කොළඹදී මස් ප්‍රවාහනය කිරීමට යොදා ගන්නා ලොරියක් ගිනිබත් කොට ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ

ලොරියට අඟහරුවාදා අලුයම ගිනි තබා ඇත්තේ දෙමටගොඩ ගව ඝාතකාගාරය අසල නවතා තිබියදී.

කොළඹ නගර සභාවෙන් පාලනය වන සියවසකට වඩා පැරණි ගව ඝාතකාගාරයට බොදු බල සේනාව මාර්තු මස මුලදී කඩා වැදුනේ නිසි අවසරයකින් තොරව මස් වෙළඳාමේ යෙදෙන බවට චෝදනා නගමින්.

කෙසේ වෙතත් කොළඹ නගර සභාව දැනුම් දී සිටියේ නීති ප්‍රකාරව එහි කටයුතු සිදු වන බවයි.

තම ලොරිය අසල තවත් විනාශ සිදු වීම වැළකී ගියේ පදික වේදිකාවේ නිදා සිටි දෙදෙනකු අපරාධ කරුවන් දැක අනතුරු ඇඟවීම නිසා බවයි ගිනි ගත් ලොරියේ හිමිකරු සංදේශයට කියා සිටියේ.

සෑහීමකට පත් විය හැකි අයුරින් පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යන බව කී ලොරි හිමිකරු, ගිනි නිවන හමුදාව ගින්න නිවා දැමු බවද සඳහන් කළේය.