ඉගිල්ලෙන මාළුවෝ තහනම 'මිලිටරිකරණයේ තවත් අදියරක්'

  • 16 ජූලි 2013
Flying Fish
'රහස් පොලීසිය මේකේ පිටපතක් ඉල්ලලා තියෙනවා බලන්න'

රටේ හමුදාවට සහ ආණ්ඩුවට අපහාස වන දර්ශන ඇතුලත් යයි පවසමින් සංජීව පුෂ්පකුමාරගේ 'ඉගිල්ලෙන මාළුවෝ' චිත්‍රපටය තිරගත කිරීම තහනම් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය ගත් පියවර ශ්‍රී ලංකාවේ මිලිටරිකරණය කලා ක්ෂේත්‍රයටද ඇතුළු වීමක් බව ජනමාධ්‍ය ක්‍රියාධරයෝ පවසති.

චිත්‍රපටය තිරගත කිරීම නවත්වා එයට සම්බන්ධ ශිල්පීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීම සිනමා ශිල්පීන් බියපත් කිරීමක් මෙන්ම භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස තද බල ලෙස අහිමි කිරීමක් ලෙසිනුයි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හඳුන්වා දෙන්නේ.

දිවා කාලයේ රජයේ හමුදා සහ රාත්‍රියෙහි එල්ටීටීඊයෙන් පාලනය වූ ගමක ජිවත් වීමෙන් ලද අත්දැකීම් එකතු කර සිය චිත්‍රපටය නිර්මාණය වූ බව පවසන අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර, ශ්‍රී ලංකාව, ත්‍රිවිධ හමුදා හෝ කිසිම ආයතනයක් අපකීර්තියට ලක් කිරීම සිය අරමුණ නොවූ බව අවධාරණය කරයි.

අයිටීඑන් නාලිකාව

රජයට අයත් අයිටීඑන් නාලිකාව ඔස්සේ තමන්ට එරෙහිව එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන අධ්‍යක්ෂවරයා, සිය නිර්මාණයේ රූප රාමු "රජය ගොඩ නැඟූ ප්‍රතිරූප" සමඟ නොගැලපෙන නමුත් තමා කළේ යථාර්ථය පෙන්වා දීම පමණක් බව ද පවසයි.

චිත්‍රපටයේ නිෂ්පාදක මනෝහන් නානායක්කාරගේ සම්බන්ධිකාරක කැලුම් පාලිත මහිරත්න බීබීසී සංදේශයට අදහස් දක්වමින්, "මේ ගැන තොරතුරු රහස් පොලිසියෙන් කතා කරලා අහලා තියෙනවා, චිත්‍රපටියේ පසුබිම, තේමාව මොකක්ද, කවුද මේකේ නිෂ්පාදනයට සම්බන්ධ වුනේ, වගේ තොරතුරු. රහස් පොලීසිය මේකේ පිටපතක් ඉල්ලලා තියෙනවා බලන්න," යනුවෙන් කියා සිටියේය.

ජාත්‍යන්තර සම්මාන ලත් 'ඉගිල්ලෙන මාළුවෝ' තිරගත කිරීම හේතුවෙන්, ප්‍රංශ තානාපති කාර්යාලය සංවිධානය කළ චිත්‍රපට උළෙලක් හදිසියේ අත් හිටුවීමට ආණ්ඩුව නියෝග කිරීම ක්‍රියාධරයන්ගේ විමතියට හේතු වී තිබේ.

ප්‍රමුඛ සාහිත්‍යවේදියකු වන ගාමිණී වියන්ගොඩ ද චිත්‍රපටයට ඇඳා ගනිමින් රාජ්‍ය මාධ්‍ය යොදා ගෙන කරන ද්වේශ සහගත ප්‍රකාශන හමුවේ, ශ්‍රී ලංකා රජය ජනමාධ්‍ය ආචාර ධර්ම පිලිබඳව ද තැකීමක් නොකරන සනාථ වන බවයි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

චිත්‍රපටය තිරගත කිරීම සඳහා රැඟුම් පාලක මණ්ඩලයෙන් අනුමැතිය ලබාගෙන තිබියදී රජය මෙසේ කටයුතු කිරීම කලාකරුවන් දැඩි ලෙස අධෛර්ය කිරීමට හේතු වන්නක් බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අදහසයි.

කෙසේ නමුත් 'ඉගිල්ලෙන මාළුවෝ' චිත්‍රපටය ශ්‍රී ලංකා ආණ්ඩුවට සහ ආරක්ෂක හමුදාවට අපහාසයක් බවයි, ජාතික ආරක්ෂාව පිලිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේ ප්‍රකාශ කරන්නේ.

"ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය නැතිව, යුධ හමුදා නිල ඇඳුම් හැඳගත් දර්ශන ඇතුලත් කර තිබෙන නිසා මේ චිත්‍රපටිය ශ්‍රී ලංකාව තුල තිරගත කිරීම තහනම් කිරීමට පියවර ගත්තා. මේ චිත්‍රපටය හදන්න මුල් වුන අයට විරුද්ධව නීතිය අනුව කටයුතු කිරීමටත් අපි පියවර ගන්නවා," යනුවෙන් ද ඔහු සඳහන් කළේය.