විදේශයට මුදල් යවන කුඩා සමාගම් වැසී යාම බ්‍රිතාන්‍ය මන්ත්‍රී අවධානයට

විදේශයේ සිටින තම පවුලේ සාමාජිකයන් හට මුදල් යැවීමට උපයෝගී කොට ගන්නා කුඩා පරිමාණ මුදල් හුවමාරු ව්‍යාපාර ගිණුම් වසා දැමීමට ගත් තීරණය නැවත සලකා බලන ලෙස බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් පිරිසක් එරට ප්‍රධාන පෙලේ බැංකු වලින් ඉල්ලා සිටිති.

බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා සෝමාලියාව වැනි රටවල දහස් ගණන් සංක්‍රමණික පිරිස් කුඩා විනිමය හුවමාරු ව්‍යාපාර ස්ථාන මගින් මුදල් යැවීමේදීයි එම ගිණුම් භාවිත කරනු ලැබුවේ.

කළු සල්ලි

බ්‍රිතාන්‍යයේ බාර්ක්ලේස් බැංකුව පවසා ඇත්තේ මේ කුඩා ව්‍යාපාර වලට කළු සල්ලි ගනුදෙනු වැනි අපරාධ අනාවරණය කරගැනීමේ හැකියාවක් නොමැති බවයි.

මේ නිසා ඔවුන් හා එක්ව කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවත් බාර්ක්ලේස් බැංකුව ප්‍රකාශ කොට තිබේ.

කෙසේ වෙතත් ලේබර් විපක්ෂයේ මන්ත්‍රීවරුන් හතලිස් පස් දෙනකු පෙන්වා දී ඇත්තේ බැංකුව ගෙන ඇති පියවර පවුල් දහස් ගණනකට දැඩි ලෙස බලපානු ඇති බව.

බීබීසී ය ට කතා කළ ඒ අතුරින් එක් මන්ත්‍රීවරියක වන රුශනාරා අලි කියා සිටියේ කළු සල්ලි ජාවාරම් හේතුවෙන් තවත් වාණිජ බැංකු වලට විශාල දඩ මුදල් ගෙවන්නට සිදුවීම, බාර්ක්ලේස් බැංකුව බිය ගැන්වීමට හේතුවී ඇති බවයි.