උඩු ගුවනේ හබයට රමිත් රඹුක්වැල්ලට දඩ

පියාසර කරමින් තිබු යානයක දොර උඩු ගුවනේදී විවෘත කිරීමට උත්සාහ කළ ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල ට දඩ ගසා තිබේ.

ශ්‍රී ලංකා රජයේ කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා බ්‍රිතාන්‍ය ගුවන් සේවා යානාවක පිටවීමේ දොරටුවේ අගුල ඇද තිබෙන්නේ බටහිර ඉන්දීය කොදෙව්වේ ශාන්ත ලුෂියා සිට ඉකුත් මාසයේ ලන්ඩනයේ ගැට්වික් බලා පැමිණෙද්දීයි.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක් නිමවා පෙරලා පැමිණෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායම සමගයි ඔහු සිටියේ.

බීමත් විලාසයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන පරිදි රඹුක්වැල්ල ක්‍රීඩකයාට දැඩි සේ අවවාද කොට නියම කර ඇති දඩය තරග ආදායමින් අඩක්.

තරුණ රඹුක්වැල්ල පවසා ඇත්තේ සිහිනෙන් ඇවිදිමින් සිටි තමනට වැසිකිළි දොර යයි ගුවන් යානා දොර වැරදී ගිය බවයි.

කෙසේ වෙතත් සිද්ධිය සියසින් දුටුවන් පවසා තිබුනේ ඔහු බීමතින් සිටි විලාසයක් පෙනුණු අතර බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවකයන් පැමිණ සන්සුන් කරන තුරු රමිත් රඹුක්වැල්ල විනාඩි දෙකක් පමණ දොර අගුල තදින් අදිමින් සිටි බවයි.