කලු ජූලියට අවුරුදු තිහයි

කලු ජූලිය දා කොටුව දුම්රිය පොලේ දර්ශණයක්
Image caption කොළඹ අගනුවරත් රට පුරාමත් දෙමළ ජනතාව සොයමින් පහර දුන් සහ ඝාතනය කළ මැර කණ්ඩායම් ආණ්ඩුවේ දේපොළ ද විනාශ කළහ (AP photo)

සිය සන්නද්ධ අරගලය උත්සන්න කරමින් කොටි සංවිධානය විසින් ඊට දිනකට පෙර සේවයට වාර්තා කළ සොල්දාදුවන් දහ තුන් දෙනකු මරා දමනු ලැබුවේ හරියටම වසර තිහකට පෙර ජූලි විසි තුන් වැනිදාවක. ඊළඟ දින කිහිපය තුළ සිංහල මැර කණ්ඩායම් එයට පළි ගත්තේ රට පුරාම වෙසෙන දෙමළ ජාතිකයන් හාර සියයත්, තුන් දහසත් අතර ඝාතනය කරමින්. වසර විසි හයක් පුරා පැතිර ගිය සිවිල් යුද්ධයට පාදක වූ සහ ලක්ෂ සංඛ්‍යාත දෙමළ ජනකායකට රට හැර යාමට බල කෙරුණු කලු ජූලියෙන් තිස් වසරක් සැමරෙන දින කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් කරන විමසුමක් මේ.

කොළඹ අගනුවර ඔරලෝසු කණුවක හවස තුනේ කණිසම වැදෙද්දී, වයෝවෘද්ධ කාන්තාවක් තිස් වසරකට එපිට අතීතය මෙනෙහි කරමින් සිටියාය.

"යකඩ පොලු වගේ දේවල් ගත්තු අසූවක විතර තරුණ කල්ලියක් තමයි ඉස්සෙල්ලම ආවේ. උන් ආවේ උමතුවෙන් වගේ, පැහැදිලිවම හොඳටම බීල - උන් ඇවිල්ල සේරම කඩා බිඳලා දැම්මට පස්සේ ඒව කොල්ල කන්න අනිත් කල්ලිය ආව," යනුවෙන් ඇය සිය මතකය අවදි කළාය.

අගනුවර මෙන්ම ලංකාව පුරා බොහෝ නගර පුරාම උමතුවෙන් මෙන් දෙමළ ජනතාවට ප්‍රහාර එල්ල වූ ආකාරය ප්‍රියා බාලචන්ද්‍රන් (සිය අනන්‍යතාවය හෙළි නොකරන මෙන් ඇය ඉල්ලා සිටි බැවින් මෙය සැබෑ නම නොවේ) සිහිපත් කරන්නීය. ප්‍රහාරයට ලක් වූ බොහෝ දෙනා ට උතුරේ සිදුවෙමින් පැවතියේ කුමක් ද යන්න පිළිබඳව හාංකවිසියක හෝ අවබෝධයක් නොවීය.

Image caption අගනුවර පුරා ඇවිද ගිය චන්ද්‍රගුප්ත තේනුවර දුටුවේ, මුළු නුවරම ගිනි ගෙන දැවෙන සෙයක්

සිය මව, පුතා සහ සිංහල ජාතික අසල්වැසියකු සමඟ දිවා ආහාරය ගනිමින් සිටියදී නිවස පිහිටි මාර්ගයේ කඩ සාප්පු ගිනි ගන්නා ආකාරය ප්‍රියා බාලචන්ද්‍රන්ට දැක ගන්නට ලැබිණ. මැර කණ්ඩායම් සිය නිවස දෙසට ද එමින් සිටින බව ඇය අවබෝධ කර ගත්තාය. තත්වය සන්සුන් වන තුරු වහාම මීටර 300ක් ඈතින් පිහිටි සිය නිවසට යමුයි සිංහල අසල්වැසියා යෝජනා කළේය. ඔවුහු ප්‍රියාගේ නිවසින් පළා ගියහ.

"එදා අපි ගෙදරින් පැනල ගියේ අන්තිම වතාවට කියල අපිට නිකමට වත් හිතුනේ නෑ," ඇය මතකය අවදි කළේ හැඬුම්බර හඬකින්.

ඒ මාර්ගයේ වෙසෙන සිංහල වැසියන් සහ දෙමළ වැසියන් කවුරුන්ද යන්න සඳහන් ලේඛන අතැතිව පැමිණ සිටි කලහකාරී කල්ලි සිය නිවස කොල්ල කෑ ආකාරය අසල්වැසි නිවසේ සිට ඇය අසා සිටියාය.

"අපිට හරියට ඇහුනේ අපේ අල්ලපු කාමරේ කඩල දානවා වගෙයි. පැයකට, දෙකකට විතර පස්සේ අපේ ගෙදරින් ලොකු දුමාරයක් මතු වුනා.

"මටයි, මගේ දරුවටයි, මුළු පවුලටම ඒක බලා ගෙන ඉන්න බැරි වුනා. හවස් වෙනකම්, ඊට පස්සේ මුළු රෑම අපි දෙවියන්ට අපේ දුක කියමින් හිටිය. අන්තිමට උන් ආයෙත් රෑ වෙලා ඇවිල්ල ඉතිරි වෙලා තිබුණු අන්තිම ටිකටත් ගිනි තියල ගියා."

ඇයට එදා අහිමි වුනේ මොනවාද?

"සේරම දේවල්. කිසිම දෙයක් ඉතිරි වුනේ නෑ. එතන ගෙදරක් ඉතිරි වෙලා තිබුනේ නෑ. එතන තිබුනේ කලුම කලු අළු ගොඩක් විතරයි. එච්චරයි මට මතක," යන්න ඒ ප්‍රශ්නයට ඇගේ ප්‍රතිචාරයයි.

'දිවි බේරුනේ සිංහලයන් නිසා'

වෙනත් බොහෝ දෙමළ ජාතිකයන් ගේ මෙන්ම තමාගේත්, සිය පවුලේ සාමාජිකයන්ගේත් දිවි බේරා ගත්තේ සිංහල ජාතික අසල්වැසියන් බව ප්‍රියා බාලචන්ද්‍රන් පවසන්නීය.

Image caption කලු ජූලිය නිසා උතුරු නැගෙනහිර ජන සංයුතිය 'සම්පූර්ණයෙන්ම වෙනස් කෙරුණා'

එහෙත් තවත් සිංහල ජාතිකයෝ දෙමළ ජාතිකයන්ට විවිධ දේ පෙන්වමින්, එහි සිංහල නම කියන මෙන් ඔවුන්ට බල කරමින් දෙමළ ජනතාව මරා දමමින් සහ ඔවුන්ගේ දේපොළ කොල්ලකමින් සිටියහ. එදා මැර කණ්ඩායම් තමන් ගමන් කළ බස් රථය නැවැත්වූ ආකාරය සිංහල ජාතික චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවරට තවමත් මතකයි.

"බස් එකේ පිටි පස්සෙන් සද්දයක් ආව මට ඇහුන. මැර කල්ලි කෙනෙක්ව බස් එකෙන් බස්ස ගත්ත," ඔහු පැවසීය.

"එයා දෙමළ කියල උන් අඳුන ගත්ත. ඊට පස්සේ බස් එක ඉස්සරහට ගියා. ඒ මනුස්සයට මොනව වුනා ද කියල මම දන්නේ නෑ."

ඉන් අනතුරුව අගනුවර පුරා ඇවිද ගිය චන්ද්‍රගුප්ත තේනුවර දුටුවේ, මුළු නුවරම ගිනි ගෙන දැවෙන සැටියක්.

මෝටර් රථ තුලම ජනතාව පුළුස්සා මරා දැමෙද්දී සහ බොහෝ දෙනා නිරුවත් කෙරෙද්දී, අගනුවර සහ අනෙක් ප්‍රධාන නගරවල සොල්දාදුවෝ බලා සිටියා මතු නොව ඇතැම් කලහකාරීන්ට ගිනි තැබීම පිණිස පෙට්‍රල් පවා සම්පාදනය කළහ.

ආණ්ඩුවේ අනුබලය

මේ සියල්ලට ආණ්ඩුවේ අනුබලය ලැබුනා පමණක් නොව, මැර කණ්ඩායම් ඇතැම් දැඩි මතධාරී ඇමතිවරුන්ගේ අවශ්‍යතාවයට අනුව ක්‍රියාත්මක වූ බවයි, මානව හිමිකම් සංවිධාන පවසන්නේ.

දින හතරකට පසුව, ජූලි 27 වැනිදා ජනාධිපති ජේආර් ජයවර්ධන පළමු වරට ජාතිය ඇමතුවේ දෙමළ ජනතාව මුහුණ පෑ ඉරණම පිළිබඳව කණගාටුව හෝ පළ නොකරමින් පමණක් නොව සිංහල ජනතාවගේ ගැටළු පිළිබඳව පමණක් අවධාරණය කරමින්.

ඉන් අනතුරුව ද ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරෙමින් තිබුණි. ජූලි 31 වැනි දා ප්‍රචණ්ඩ ක්‍රියා හමාර වන විට, දස දහස් සංඛ්‍යාත දෙමළ ජනතාව උතුරු සහ නැගෙනහිර පළාත්වලට හෝ විදේශවලට හෝ පලා ගොස් සිටියහ.

සිය අරගලයට තරුණයන් බඳවා ගැනීම පිණිස කලු ජූලිය දෙමළ සන්නද්ධ කණ්ඩායම් වලට සරු බිමක් වූවා පමණක් නොව, ලක්ෂයකට ආසන්න පිරිසකට මරු කැඳවමින් දශක ගණනාවක් දිග ඇදුනු යුද්ධයට ශ්‍රී ලංකාව තල්ලු කරනු ලැබුවේ ද එහි ප්‍රතිඵලයක් ලෙසින්.

විශේෂයෙන්ම ලක්ෂ සංඛ්‍යාත දෙමළ වැසියන් විදේශවලට පලා යාම නිසා එම පළාත්වල ජන සංයුතිය සම්පූර්ණයෙන්ම වෙනස් කෙරුණු බවයි, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සීවී විග්නේශ්වරන් පවසන්නේ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"ඒකත් එක්කම විශාල බුද්ධි ගලනයක් ඇති වුනා. නීතිවේදීන්, දොස්තරවරුන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවෝ මේ සේරම ලංකාව අත් ඇරලා ගියා. රට දාල යනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ කියලයි ඔවුන් හිතුවේ," යනුවෙන් ද දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් සභාවට තරඟ කරන හිටපු විනිසුරුවරයා කියා සිටියේය.

"තමන්ට රට දාල යන්න සිද්ද වුනේ 1983 නේ ඝාතන සහ විනාශය හේතුවෙන් නිසා විදේශගත දෙමළ ජනතාවට තවමත් ඒව අමතක කරන්න බැහැ."

අනෙක් අතට දිවයිනේ විශාල දෙමළ ජනගහනයක් වාසය කළ ප්‍රදේශ පවා අත් හැර දමා යාමට දෙමළ ජනතාවට සිදුවීම වෙනම දෙමළ රාජ්‍යයක් පිලිබඳ අදහස තවත් ශක්තිමත් කිරීමට තුඩු දුන් සාධකයක්.

1983 පටන් මේ දක්වා, අගනුවර හැරුණු විට දකුණේ අනෙක් බොහෝ ප්‍රදේශවල දෙමළ ජනතාව සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කිරීමට අවස්ථාව නොලැබුණු බවයි, විශ්‍රාමික විනිසුරුවරයා පවසන්නේ.

යුද්ධය හමාරයේ ශ්‍රී ලංකාවේ තවදුරටත් "සුළු ජාතියක් නැති" බව නිවේදනය කළ ආණ්ඩුව, එවක් පටන් සියලු ශ්‍රී ලංකාවාසීන් සමානයන් බව පැවසීය.

එහෙත් දැන් යලිත් වරක් සිංහල ජාතිකවාදී හැඟීම් සහ ජාතිකත්වය හුවා දක්වන දේශනයන් ද උත්සන්න වෙමින් තිබේ. දෙමළ ජාතිකයන් මතු නොව මුස්ලිම් සුළු ජාතිය ද එයින් අවිනිශ්චිත තත්වයකට මුහුණ දී සිටිති. බෞද්ධ භික්ෂුන් වහන්සේ ඇතුළු සිංහල බෞද්ධ ජාතිකවාදීහු මුස්ලිම් පල්ලිවලට ප්‍රහාර එල්ල කරමින් සිටිති.

සමාව ඉල්ලීම

දෙමළ කොටි සංවිධානය මර්දනය කොට, දෙමළ සිවිල් වැසියන් විශාල පිරිසක් මරුමුවට පත්වී යුද්ධය හමාර වීමෙන් අනතුරුව දෙමළ ජනතාවට බලය බෙදා හැරීමේ විධිවිධාන ද අඩු කරන මෙන් දැඩි මතධාරී ඇමතිවරු උද්ඝෝෂණයක නිරත වී සිටිති.

කලු ජූලිය නාසිවාදයට සමාන කළ එවක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, 2004 දී දෙමළ වැසියන් ගෙන් සමාව ඉල්ලා සිටියාය.

Image caption කලු ජූලිය නාසිවාදයට සමාන කළ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, 2004 දී දෙමළ වැසියන් ගෙන් සමාව ඉල්ලා සිටියාය

කලු ජූලියේදී දෙමළ වැසියන් 1000 ක් මරුමුවට පත්ව 700,000 ක් රටින් පලා ගිය බවයි, ඇය විසින් පත් කරනු ලැබුන කොමිසමක නිගමනය වූයේ. වාර්තා නොවූ තවත් බොහෝ සිදුවීම් තිබිය හැකි බව ද ජනාධිපතිවරිය පිළිගත්තාය.

වාර්ෂිකව කලු ජූලිය සමරන චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර අදින් ඇරඹෙන 'සැමරිය නොහැකි සැමරුම' ප්‍රදර්ශනය සඳහා සැරසෙමින් සිටියි. රටේ අධිකරණ ක්‍රියාදාමය ඔහුගේ ප්‍රදර්ශනයේ තවත් මාතෘකාවක්.

ජනාධිපතිනි කුමාරතුංග සමාව ඉල්ලා සිටියත්, කලු ජූලියේ ඝාතන සම්බන්ධයෙන් කිසිවෙකුත් දඬුවම් ලබා නැති බව ඔහු පෙන්වා දෙයි.

"ඒ වගේ ආකල්පයක් මේ වගේ බරපතල ප්‍රශ්න විසඳන්න කොහෙත්තම ගැලපෙන්නේ නෑ," ඔහු පවසයි.

"එහෙම සංහිඳියාවක් ඇතිවෙන්න බෑ. අපි ඒ ගැන කථා කරන්න ඕනේ. අපි ඒ තුවාලේ ඇරලා, ඒක සුද්ද කරලයි ඒක සුව කරන්න ඕන."

මේ අතර සිය නිවස ගිනි බත් වනු දුටු ප්‍රියා බාලචන්ද්‍රන් මට ඇගේ පවුලේ ඡායාරූප ඇල්බමය පෙන්වයි. කොල්ලකරුවකු ලෙසින් පෙනී සිටි අසල්වැසියෙක් ඒ ඡායාරූප බේරා ගෙන තිබේ.

සිංහල ජාතිකයෝ ද අදත් ඇගේ සමීප මිතුරන් අතර සිටිති. ජාතීන් අතර සම්බන්ධතා ගැන ඇගේ මතය කවරක් දැයි මම ඇය විමසීමි.

"එහෙම දෙයක් ආයෙත් නොවේවි කියල මම බලාපොරොත්තු වෙනවා," ඇය පවසන්නීය. "මොකද මම හිතන්නේ දෙපැත්තම හොඳට පාඩම් ඉගෙන ගෙන තියෙන්නේ."

"අවුරුදු තිහක යුද්දේ දෙපැත්තටම එක හා සමානව පාඩමක් ඉගැන්නුවා කියල මට හිතෙනවා. දෙගොල්ලොම ඇති වෙන්න දුක් වින්ද," ඇය අපේ සංවාදය නිමා කළේ එලෙසින්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර