එලීලන්ගේ බිරිඳ දෙමළ ජාතික සන්ධානයෙන් යාපනයට

  • 2013 ජූලි 29
TNA team after handing in nominations
Image caption උතුරේ දිස්ත්‍රික්ක පහෙන්ම තරග වැදීමට දෙමළ ජාතික සන්ධානය නාම යෝජනා භාර දුන්නේය

එල්ටීටීඊ සංවිධානයේ වවුනියාව ත්‍රිකුණාමලය දේශපාලන නායකයාව සිටි එස් එලීලන්ගේ බිරිඳ ආනන්දි සසිහරන්, දෙමල ජාතික සන්ධානයෙන් යාපනය සඳහා තරග වදින එක් අපේක්ෂිකාවක්.

යුද්ධයෙන් පීඩාවට පත් තමා වැනි දහස් ගණනක් කාන්තාවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් හෝ දේශපාලනයේ නිරත වීමට තීරණය කළ බවයි, නාම යෝජනා භාර දීමෙන් අනතුරුව ප්‍රකාශයක් කරමින් ඇය කියා සිටියේ.

උතුරු පළාත් සභා මැතිවරණයෙන් සිය පක්ෂයට ජයග්‍රහණය සහතික බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඒ බව කියා සිටියේ, යාපනය දිස්ත්‍රික්කය වෙනුවෙන් සිය පක්ෂයේ නාම යෝජනා භාර දීමෙන් අනතුරුව අදහස් දක්වමින්.

උතුරේ මුල්ම පළාත් සභා මැතිවරණය සඳහා යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් හා වව්නියාව යන දිස්ත්‍රික්ක පහෙන්ම තරග වැදීමට දෙමළ ජාතික සන්ධානය අද නාම යෝජනා භාර දුන්නේය.

වවුනියාව දිස්ත්‍රික්කයෙන් තරග වදින ජීටී ලිංගනාදන් බීබීසී සංදේශයට කියා සිටියේ දෙමළ ජනතාව යුද්ධයෙන් පත් විවිධ පීඩාවන්ට සහන ලබාදීම තම අපේක්ෂාව බවයි.

ආණ්ඩුව සාධාරණ මැතිවරණයක් පවත්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර