මෝරුන් දඩයමින් 'ශ්‍රී ලංකාව ඉහලට'

Killed sharks

ගතව ගිය දස වසරකට ආසන්න කාලය තුල ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් විසින් කිරි මෝරුන් හෙවත් කස මෝරුන් විශාල වශයෙන් මරා දැමීම හේතුවෙන් මෝර ගහනය ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතින බව යුරෝපා සංගමය පවසයි.

විශේෂයෙන්ම දෙදහස් දෙකේ සිට දෙදහස් එකොළහ දක්වා කාලය තුල මරා දැමූ කිරි මෝරුන්ගෙන් පහෙන් එකක්ම අල්ලා ගනු ලැබ තිබෙන්නේ ඉන්දියාව සහ ඉන්දුනීසියාව විසින් බවයි, යුරෝපා සංගමයේ සමීක්ෂණයකින් අනාවරණය වෙන්නේ.

ඒ හැරුණු විට ශ්‍රී ලංකාව, චීනය, බ්‍රසීලය, ෆීජි ඇතුළු රටවල් ගණනාවක් ද වැඩියෙන්ම කිරි මෝරුන් අල්ලන රටවල් අතර තිබෙන බව සමීක්ෂණයේ නිගමණයයි.

අලුත් නීති

මෝර වරල් වෙනුවෙන් චීනයේ පවතින ඉල්ලුම මෙම තත්වයට හේතුව බව ද සමීක්ෂණ වාර්තාව පවසයි.

Image caption මෝර වරල් වෙනුවෙන් චීනයේ පවතින ඉල්ලුම මෙම තත්වයට ප්‍රධානම හේතුවක්

කස මෝරුන් මරා දැමීමේ සිදුවීම් කිහිපයක් තමන්ට ද වාර්තා වී තිබෙන බව පිළිගන්නා ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න, කෙසේ වුවත් ඒ සියල්ල ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් බාහිරව සිදුව ඇති දේ බව බීබීසී සංදේශයට කියා සිටියේය.

මේ තත්වයට පිළියම් යෙදීම පිණිස සංශෝධිත ධීවර පණත දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙන බවයි, ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

සමීක්ෂණයට අදාළ කාල සීමාව තුල නැගෙනහිර ඉන්දීය මුහුදෙන් අල්ලා ගත් බව වාර්තා වන කිරි මෝරු ටොන් 4274 ම පාහේ අල්ලා ගෙන තිබෙන්නේ ශ්‍රී ලාංකික ධීවරයන් විසින්.

මෝර වර්ග සඳහා පමණක් නොව එක් එක් සාගර කලාප එක් එක් මත්ස්‍ය වර්ග සඳහා ක්ෂේමභූමි ලෙසින් නම් කොට තිබෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න පෙන්වා දෙයි.

නව නීති හඳුන්වා දීමත් සමගම ආරක්ෂා කළ යුතු මත්ස්‍ය වර්ග අල්ලන සියලු දෙනාට එරෙහිව පියවර ගත හැකි වනු ඇතැයි අමාත්‍යවරයා බලාපොරොත්තු පළ කළේය.