රූකාන්ත සහ චන්ද්‍රලේඛා ගායක යුවලට තර්ජන කළ පොලිස් නිලධාරීන්ට සිර දඬුවම්

රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා ගායක යුවලගේ නිවසට ගිනි අවි රැගෙන අයුතු ලෙස ඇතුල්වී සාපරාධී බිය වැද්දීම් සිදු කිරීමේ චෝදනාවලට වැරදිකරුවන් වූ දස දෙනෙකුට පානදුර මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත මාස පනස් හතරක සිර දඬුවම් නියම කර තිබේ.

මෙසේ දඬුවම් ලබන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් නිලධාරීන් දස දෙනෙක්.

විත්තිකරුවන්ට රුපියල් විසි එක්දහස බැගින් දඩ නියම කළ අධිකරණය රූකාන්ත සහ චන්ද්‍රලේඛා ගායක යුවලට රුපියල් ලක්ෂ දෙක බැගින් වන්දි ගෙවන ලෙසටත් නියම කළේය.

ප්‍රමාණවත් තරම් සාක්ෂි ඉදිරිපත් නොවීම නිසා එක් විතිකරුවකු නිදහස් කර හැරීමටද අධිකරණය විසින් තීන්දු කෙරිණ.

2000 වසරේ ජනවාරි 26 වැනිදා රාත්‍රී රූකාන්ත සහ චන්ද්‍රලේඛා ගායක යුවලගේ නිවසට ඇතුල්වී ගිනි අවි පෙන්වා තර්ජනය කොට ඔවුන්ගේ කොණ්ඩය කපා දැමූ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා පත්‍ර ඉදිරිපත් කොට තිබිණ.

එසේම එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවලට ගොඩ නොවන මෙන්ද විත්තිකරුවන් රූකාන්ත සහ චන්ද්‍රලේඛා ගායක යුවලට තර්ජනය කොට තිබූ බවත් එම චෝදනා පත්‍රයේ සදහන් වී තිබේ.

විත්තිකරුවන් හිටපු ජනාධිපතිනියට වාසියක් සලසා දීම සඳහා මෙම අපරාධය සිදු කොට ඇතැයි සඳහන් කළ පානදුර මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන ප්‍රකාශ කළේ මේ තුලින් විත්තිකරුවන් රජයට විරුද්ධ දේශපාලනයක නිරත වන පුද්ගලයන්ගේ නිදහස අහිමි කිරීමට කටයුතු කර ඇතැයි ප්‍රකාශ කළාය.