එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය හමුවීමට බලා සිටිනවා - සරත් ෆොන්සේකා

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරිය හමුවීමට අවස්ථාව ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් තමන් ඉල්ලීමක් කරන බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රකාශ කරයි.

මේ මස අගදී ශ්‍රී ලංකාවේ තත්වය සොයා බැලීම සඳහා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලෙයි ශ්‍රි ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.

උතුරු,වයඹ හා මධ්‍යම පළාත් සඳහා තම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සුදානම පිලිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වූ අවස්ථාවේ සංදේශය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි හිටපු හමුදාපතිවරයා එසේ පැවසුවේ.

ආරාධනාවක්

ආරාධනාවක් ලැබුනොත් අනිවාර්යෙන්ම එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරිය මුණ ගැසෙන බව පැවසූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මෙරට සදාචාර විරෝධී ක්‍රියා ගැන, දුෂිත දේශපාලනය ගැන, මානුෂීය අයිතිවාසිකම් නැති බව, ප්‍රජාතන්ත්‍රවාදයට ගහන පහරවල් ගැන ලෝක ප්‍රජාව දැනුවත් කල යුතු යැයි පැවසුවේය.

පළාත් සභා මැතිවරණය පවත්වන පළාත් සභා තුනටම තම පක්ෂය ශක්තිමත් කණඩායමක් ඉදිරි පත් කර ඇති බව පවසන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා දකුණේ ජනතාවට ඇති ප්‍රශ්න උතුරටද ඒ හා සමාන ලෙස බලපාන නිසා උතුරු පළාත් සභාවට ද තම පක්ෂය තනිවම තරග කරන බව ද පැවසිය

"දේශපාලන වාසි ගන්න දකුණේ ජාතිවාදය අවුස්සලා දේශපාලනය කරන්න අපට අවශ්‍ය නැ. ජාතික සමගිය ඇති කිරීමට අවශ්‍ය නිසා අපි උතුරේ දේශපාලනයට අවතීර්ණ වනවා," හිටපු හමුදාපතිවරයා පැවසුවේය.