හමුදා ප්‍රචණ්ඩත්වය නිමාවී නැහැ - ආර්එස්එෆ්

RSF
Image caption මාධ්‍යවේදීන් ට හිරිහැර කරන ක්‍රියාදාමයට නැවතීමේ තිත තැබිය යුතු බව මාධ්‍ය සංවිධාන පවසයි

පාරිසරික උද්ඝෝෂණයක් වාර්තා කිරීමේ යෙදුනු ජනමාධ්‍යවේදීන්ට වැලිවේරියේ දී පහර දීම හෙළා දකින දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ හෙවත් RSF සංවිධානය පවසන්නේ 'ශ්‍රී ලංකාවේ යුද්ධය හමාර වුවත්, සන්නද්ධ හමුදා විසින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා නිමා වී නැති,' බවයි.

ප්‍රචණ්ඩ ප්‍රහාර වලට ලක්වූ මාධ්‍යවේදීන් ඒ බව පැමිණිලි කළ කල්හි පොලිසිය කිසිදු පියවරක් ගැනීමෙන් වැළකී සිටින අතරේ 'මාරාන්තික අවි ගත් යුද හමුදාව විසින් ප්‍රහාර සංවිධානය කොට දියත් කරනු ලබන,' බවයි පැරිසියේ සිට නිකුත් කළ නිවේදනයක් මගින් RSF සංවිධානය පවසා ඇත්තේ.

මේ අතර ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

'විවිධ පාර්ශවවල වුවමනා සංතෘප්ත කිරීම' පිණිස මහජනතාව සහ මාධ්‍යවේදීන් ට හිරිහැර කරන ක්‍රියාදාමයට නැවතීමේ තිත තැබීමට කාලය එළඹ ඇති බව ද එහි ලේකම් රංග කලංසූරියගේ අත්සනින් යුතුව නිකුත් කොට තිබෙන නිවේදනයේ දැක්වේ.

කළු විරෝධතා

මේ අතර ශ්‍රී ලංකා ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තීය සමිතිය සඳුදා පටන් විරෝධතා සතියක් දියත් කොට තිබේ.

සතියක් තුලදී මාධ්‍යවේදීන්ට එල්ලවූ ප්‍රහාර තුනකින් උච්චතම ප්‍රහාරය වැලිවේරියේදී සිදුවූ බවයි වෘත්තීය සමිතිය පවසන්නේ.

සේවයේ යෙදී සිටි මාධ්‍යවේදීන්ට මීට ඉහත නාවුලදී හා දඹුල්ලේදී පහර දෙනු ලැබූ බව සභාපතිනි මන්දනා ඉස්මයිල් අබේවික්‍රම සංදේශයට කියා සිටියාය.

කළු පටි බැඳගෙන සේවයේ යෙදීමෙන් සිය මාධ්‍ය සගයන්ට එල්ලවූ ප්‍රහාරයට විරෝධය පෑම ඉදිරි සතියේ පුරා සිදු කරන බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර