වැරදිකරු සොයා දඬුවම් දෙන්න - එජාප

  • 5 අගෝස්තු 2013
Sri Lanka troops in Weliweriya a day after the shooting
Image caption 'ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙවැනි සිද්ධීන්වලින් අපිට අනාගතය ගැන බියක් ඇති කරනවා'

පිපාසය නිවා ගැනීම සඳහා පිරිසිදු ජලය ඉල්ලූ ජනතාවට උණ්ඩයෙන් පිළිතුරු දෙන මෙන් නියෝග කළේ කවුදැයි සොයා දඬුවම් පැමිණවිය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය ඒ බව කියා සිටියේ, තිදෙනකු මරා දමමින් සහ තවත් 'හතළිහකට ආසන්න පිරිසක් රෝහල්ගත් කරමින්' බ්‍රහස්පතින්දා රතුපස්වල ගම්වාසීන්ට හමුදාව එල්ල කළ ප්‍රහාරය පිළිබඳව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්.

ගම්වාසීන්ට ජීව උණ්ඩවලින් පිළිතුරු දීමෙන් අනතුරුව එයට දේශපාලන අර්ථකතනයක් ලබා දීමට උත්සාහ කරන බවට මන්ත්‍රීවරයා ආණ්ඩුවට චෝදනා කළේ, පසුගිය සිකුරාදා ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා විසින් කරන ලද ප්‍රකාශයක් උපුටා දක්වමින්.

කෙසේ නමුත් ප්‍රදේශවාසී ජනතාව මුහුණ දුන් ගැටලුවේදී ආගමික නායකයන් 'ඉතා සාමකාමීව සහ බුද්ධිමත්ව' ක්‍රියා කළ බව පවසන එජාපයේ හිටපු නියෝජ්‍ය නායකයා, ගලඔළුව සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියන්ගේ උපවාසය පිළිබඳව විශේෂයෙන් සඳහන් කරයි.

"ඒකාධිපති පාලන තුල මෙවැනි සිද්ධීන් සාමාන්‍ය වුවත්, ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙවැනි සිද්ධීන්වලින් අපිට අනාගතය ගැන බියක් ඇති කරනවා," යනුවෙන් ද කරු ජයසූරිය මන්ත්‍රීවරයා සඳහන් කළේ වයසක කාන්තාවක් ආරක්ෂක හමුදාවල ග්‍රහණයට හසුවී සිටින දර්ශණයක් පිළිබඳව සඳහන් කරමින්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර