වැලිවේරිය ප්‍රහාරයට දෙස් විදෙස් විරෝධය

Image caption හමුදා භටයන් ‘අපරාධ කරුවන්ටත් වඩා පහත් මට්ටමින්’ හැසිරී ඇති බව ආසියානු මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරයි

වැලිවේරිය හමුදා ප්‍රහාරය පිළිබඳ ව දේශීය මෙන් ම විදේශීය මානව හිමිකම් සංවිධාන හා ආගමික ආයතන වලින් දැඩි විවේචන එල්ල වී තිබේ.

ඉහල නිලධාරීන්ගේ නියෝගය පරිදි සාමය රැකීම සඳහා රතුපස්වලට පැමිණි හමුදා භටයන් ‘අපරාධ කරුවන්ටත් වඩා පහත් මට්ටමින්’ හැසිරී ඇති බව ආසියානු මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරයි.

ප්‍රහාරය සඳහා නියෝගය දුන් නිලධාරීන් පටන් ප්‍රහාරය දියත් කළ භටයන් දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්අඩංගුවට ගෙන යුද්ධාධිකරණයක් ඉදිරියට ගෙන ඒමට ප්‍රධාන අණදෙන නිලධාරියා කටයුතු නො කරන්නේ නම් ලබා දෙනු ලබන ‘විනිශ්චය’ පිළිබඳ ව කිසිදු විශ්වාසයක් තැබිය නො හැකි බවයි ආසියානු මානව හිමිකම් කොමිසම කියා සිටින්නේ.

මේ අතරතුර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කියා සිටින්නේ රජයේ ප්‍රකාශකයන් විසින් වැලිවේරිය සිද්ධිය පිටුපස විදේශ බලවේගයක් පවතින බව සහ විරුද්ධ පක්ෂ සිටින බව පවසමින් ප්‍රකාශ නිකුත් කිරීම ‘වේදනාවට පත් වූ වන් තව දුරටත් අපහාසයට ලක් කිරීමක්’ බවයි.

‘රක්ෂකයකු නොව භක්ෂකයකු’

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ජනතාවගේ ‘රක්ෂකයකු නොවී භක්ෂකයකු’ බවට පත් වී ඇති බවයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

Image caption ප්‍රහාරයෙන් මිය ගිය අකිල දිනේෂ් සිසුවාගේ අවමගුලට සහභාගී වූ මැල්කම් රන්ජිත් කාදිනල් තුමන්

වැලිවේරිය හමුදා ප්‍රහාරය හෙලා දකිමින් කතෝලික සභාව පවසා ඇත්තේ විරෝධතා ව්‍යාපාර සීමාව ඉක්මවා ගියත් මර්දනීය අයුරින් එය මැඩලීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

වැලිවේරිය ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සරණ පැතූ ජනතාවට ‘යුද හමුදාවේ ඇතැම් බලවේග’ පහර දුන් බව මැල්කම් රන්ජිත් කාදිනල් තුමන්ගේ අත්සනින් නිකුත් කොට ඇති නිවේදනයකින් කියැවේ.

ශුද්ධස්ථානය කෙලෙසීමක්

සන්නද්ධව දේවස්ථානයට ඇතුළු වීම ශුද්ධස්ථානයක් කෙලෙසීමක් ලෙසින් හඳුන්වන කාදිනල් තුමා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට තරාතිරම නො බලා දඬුවම් පමුණුවන ලෙස රජයෙන් ඉල්ලා සිටී.

වැලිවේරිය ප්‍රහාරය පිළිබඳ ව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය නිකුත් කළ නිවේදනය, විරෝධතා කරුවන් සම්බන්ධයෙන් පල කරන අදහස් මගින්රජයට 'අපරාධයේ වගකීමෙන්' නිදහස් විය නොහැකි බව පවසයි.

Image caption අකිල දිනේෂ්

‘එදා කටුනායක සිද්ධියේ දී කිව්වේ ද අද වැලිවේරිය සිද්ධිය ගැන කියන “ප්‍රකෝපකාරීන් - දේශපාලන කඩාකප්පල්කාරීන්” ගැන කියන කතාම ය,’ යනුවෙන් එහි සඳහන් වෙයි.

හමුදාව විසින්ම හමුදාව පිළිබඳ ව කරනු ලබන පරීක්ෂණයක් ගැන විශ්වාසය තැබිය නොහැකි බවයි ඇම්නෙස්ටි ජාත්‍යන්තරය (AI) සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) යන සංවිධාන දෙක ම පවසන්නේ.

ශ්‍රී ලාංකික ජනතාවගේ පානීය ජලය සිය 'ව්‍යාපාරික අවශ්‍යතාව උදෙසා විස කළ සමාගම්' තැනූ භාණ්ඩ මිල දී ගන්නා ජාත්‍යන්තර ආයතනද වැලිවේරිය ප්‍රහාරය සම්බන්ධව වගකීමෙන් බැඳෙන බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානය තවදුරටත් පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර