වින්දිතයන්ගෙන් තොරතුරු විමසීම ලබන සතියේ - කොමිසම

වැලිවේරිය සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම ආරම්භ වී ඇති බවයි ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නීති ලේකම් නිමල් පුංචි හේවා සංදේශයට ප්‍රකාශ කලේ.

සිද්ධියට අදාළ සියලු රාජ්‍ය ආයතන, පොලීසිය සහ හමුදාව ගෙන්වා දැනටමත් තොරතුරු විමසීමක් සිදුකොට ඇති බව පැවසූ ඔහු එහි දෙවැනි අදියර යටතේ සිවිල් සංවිධාන සහ ඊට සම්බන්ධ පූජ්‍ය පක්ෂය සහ වින්දිතයන් ලබන සතියේ කැඳවා තොරතුරු විමසීම් ආරම්භ කරන බව පැවසුවේය.

ඉන් පසු විමර්ශනය සිදු කරන ආකාරය තීන්දු කොට කොමිසම විමර්ශන ආරම්භ කරන බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නීති ලේකම් නිමල් පුංචි හේවා කියා සිටියේ.

තර්ජන

නීතිඥයන්ට සහ ගමේ ජනතාවට තර්ජන එල්ලවී ඇති අවස්ථාවාක්දී ඔවුන් සාක්ෂි දීමට පැමිණේද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් නීති ලේකම් නිමල් පුංචි හේවා පැවසුවේ දැනටමත් විශාල පිරිසක් සහ විවිධ සංවිධාන කරුණු දැක්වීම සඳහා ඉදිරිපත් වී ඇති නිසා එවැනි තත්වයක් නොමැති බව ඔහු පැවසුවේය.

යුද හමුදාව ක්‍රියාත්මක වූ ආකාරය නිවැරදි බව පවසන ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඔවුන්ට ප්‍රහාරයක් එල්ලවූ අවස්තාවේදී වෙඩි තබා ඇති බව ප්‍රකාශ කිරීම තම විමර්ශන කටයුතු වලට බාධාවක් නොවේදැයි කළ විමසුමේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නීති ලේකම් නිමල් පුංචි හේවා පැවසුවේ එය ඔහුගේ පෞද්ගලික ස්ථාවරය බවයි.

කොමිසමේ වාර්තාව ඉදිරිපත් කරන කාල වකවානු ගැන දැනට ප්‍රකාශ කළ නොහැකි බවයි ඔහු පවසුවේ.

හියුමන් රයිට්ස් වොච්

මේ අතර, ගම්පහ, වැලිවේරිය ප්‍රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් නොමග යවන සුළු ප්‍රකාශ නිකුත් කිරීම නවතා වහා විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් ආයතනය ඉල්ලා සිටී.

මේ සිද්ධියෙන් අඩු වශයෙන් තිදෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව පවසන එම ආයතනය කියා සිටින්නේ ඝාතන වලට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවයි.

“මාධ්‍ය වාර්තාවලට අනුව පිරිසිදු ජලය ඉල්ලමින් උද්ඝෝෂණයක නිරතවු භික්ෂුන් වහන්සේ ඇතුළු ජනතාවට සෙබලුන් විසින් වෙඩි තබා ඇත. ගල් වලින් සහ පෙට්රෝල් බෝම්බ එල්ල කළ ඔවුන්ට හමුදා සෙබලුන් වෙඩි තබා ඇත්තේ ආත්මාරක්ෂාව සඳහා බවට ජනාධීපති මහින්ද රාජපක්ෂ පවසා තිබේ. මෙහිදී සිදුවූ මරණ සහ පුද්ගලයන් තුවාල ලැබීම පිළි බඳව ඇති අපැහැදිලි පසුබිම හා ඊට අදාළ හමුදා සෙබළුන් වරදෙන් නිදහස් කෙරෙන ආකාරයේ රජයේ ප්‍රකාශ හමුවේ ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යතාව පැන් නගින්නේ යයි,” හියුමන් රයිට්ස් වොච් ආයතනය සඳහන් කරයි.

විරෝධතා කරුවන් තිදෙනකුට හමුදාව වෙඩි තැබූ බව අවිවාදයෙන් පිළිගත යුතු නමුත් ශ්‍රී ලංකා රජය සත්‍යය වසන් කරන ආකාරයේ ප්‍රතිචාර දක්වන බව ආයතනයේ දකුණු ආසියානු කලාපය භාර අධ්‍යක්ෂ මීනක්ෂි ගංගුලි නිවේදනයක් නිකුත් කරමින් තවදුරටත් ප්‍රකාශ කරයි.