පල්ලියට ගැසූ අය අත්අඩංගුවට ගන්න -එජාප

  • 12 අගෝස්තු 2013

ග්‍රෑන්ඩ්පාස් ප්‍රහාරය සිදු වී තෙවැනි දිනයට එළැඹ ඇතත් ප්‍රහාරය සිදු කළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නො තිබීම පිළිබඳ ව රජය විපක්ෂයේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ.

'පොලිසිය බලා සිටිය දී සිදු වූ මෙම ප්‍රහාරයට ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිය යුතු' බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු කියා සිටියේ.

තිදෙනෙකු මරණයට පත් කරමින් වැලිවේරියේ දී සිදු වූ ප්‍රහාරය ජනතාවට අමතක කර වීම ග්‍රෑන්ඩ්පාස් ප්‍රහාරයේ මූලික අරමුණ වූ බව ද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ ය.

'පිටස්තර පුද්ගලයන්'

මේ පිළිබඳ ව කළ විමසීමක දී ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ බොහෝ විට 'පිටස්තර පුද්ගලයන්' මෙවැනි ක්‍රියාවල යෙදෙන අතර තවමත් ඔවුන් හඳුනා ගෙන නොමැති බවයි.

ප්‍රහාරය පසුපස ජාත්‍යන්තර සහ විපක්ෂ බලවේග පවතින බවට රජය කරන ප්‍රකාශ එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේය.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රහාරයට මුල් වූ, අලුතින් ඉදි කළ මුස්ලිම් පල්ලිය මේ වනවිට වසා දමා ඇති අතර නගර සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉවත් කිරීමට නියමිත ව තිබූ පැරණි පල්ලිය දිගටම පවත්වා ගෙන යාමට රජය සමඟ එකඟතාවකට පැමිණ තිබේ.

පල්ලියට පහර දුන් කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට බලධාරීන් ක්‍රියා නො කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් නායකයන්ගෙන් ද රජයට විවේචන එල්ල විය.

ප්‍රහාරයෙන් අනතුරුව පනවන ලද ඇඳිරි නීතිය ඉවත් කර ඇති නමුත් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය අවට දැඩි පොලිස් රැකවල් යොදා තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර