රතුපස්වල සමාගම ‘ඉවත් කිරීමට’ ජනාධිපති එකඟ වේ

  • 2013 අගෝස්තු 12

පානීය ජල දූෂණයට චෝදනා ලබන හේලීස් සමාගමේ රබර් නිෂ්පාදන කම්හලක් ප්‍රදේශයෙන් ඉවත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ රතුපස්වල ජනතාවට අද සහතික විය.

චෝදනාවට ලක් වන ඩීපීඑල් සමාගම ජල දූෂණයේ යෙදී තිබුනත් නැතත් එම සමාගම තවදුරටත් එහි ක්‍රියාත්මක වීම අත් හිටවන බව ජනාධිපතිවරයා දැනුම් දුන් බවයි, ප්‍රදේශවාසී පරිසර ක්‍රියාධරයෙක් බීබීසියට කියා සිටියේ.

මේ අතර,ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ජලය පරීක්ෂා කොට වාර්තාවක් නිකුත් කිරීමෙන් පසු ‘කම්හල වැරදි ලෙස ක්‍රියාකර ඇති බව වාර්තාවෙන් සනාථ වුවහොත් එය වහාම වසා දමනු,’ ලබන බවයි.

‘සාධාරණ කාලයක්’

වරදක් කොට නැති බව හෙළි වුවත් කම්හල ‘ආයෝජන මණ්ඩල කලාපය තුළ,’ පිහිටුවීමට ‘සාධාරණ කාලයක්’ ලබා දෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

රජය නොමිලේ ජල සම්පාදනය කළ යුතුය යන්න ප්‍රදේශ වාසීන්ගේ ඉල්ලීමක් වුවත්, ජනාධිපති ප්‍රකාශකගේ නිවේදනයේ සඳහන් වන්නේ ‘ප්‍රදේශයේ ජනතාවට ආරක්ෂා සහිත පානීය ජලය සම්පාදනය කිරීම අදාල නිලධාරීන්ගේ ප්‍රමුඛතම වගකීම විය යුතු,’ බවයි.

රස පරීක්ෂක වාර්තාව නිකුත් කරන තුරු ආයතනය පවත්වාගෙන යන්නට ඉඩ සලසන ලෙස කැරුණු ඉල්ලීමට ප්‍රදේශවාසීන් එකඟ වී ඇත.

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන් හා ආරක්ෂක බලධාරීන් මෙන් ම කම්හල් පරිපාලනය ද සමග සඳුදා කොළඹ දී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි, එම එකඟතාවට එළඹ ඇත්තේ.

වැලිවේරිය ප්‍රහාරයේදී මිය ගිය අයට යුක්තිය ඉටු කැරෙන ආකාරය පිළිබඳ කළ විමසීමට ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවේදී පිළියමක් නො ලැබුණු බවයි, සාකච්ඡාවට සහභාගි වූ ප්‍රජා නායකයෙක් ප්‍රකාශ කරන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර