දෙමළ කාන්තාවක් දූෂණය කළ බවට හමුදාවට චෝදනා

  • 16 අගෝස්තු 2013
TNA
Image caption හමුදා සෙබළුන් විසින් කාන්තාව දූෂණය කරන ලදැයි සැක කෙරෙන බව මන්ත්‍රීවරයා පවසයි

කිලිනොච්චියේ, පුනරින්හිදී පුරුෂයන් දෙදෙනකු විසින් දූෂණය කොට රෝහල්ගත කොට සිටින කාන්තාවක් හමුවීමට රෝහල් බලධාරීන් තමන්ට අවස්ථාවක් ලබා නොදුන් බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙක් පවසයි.

ඇය දූෂණය කොට තිබෙන්නේ හමුදා සෙබළුන් විසින් බවට සැක කරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් බීබීසී සංදේශයට කියා සිටියේය.

කාන්තාව දූෂණය කිරීමට පෙර ඇයගේ ඇස සහ කට බැඳීමට යොදා ගන්නා ලද ටී ෂර්ටය ආරක්ෂක අංශ සාමාජිකයන් නිතර භාවිත කරන්නක් බව එම කාන්තාව පොලිසියට දී තිබෙන කට උත්තරයේ සඳහන් බව ද ඔහු පැවසීය.

අදාළ ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නැති බවයි, පොලිසිය පවසන්නේ.

මේ පිළිබඳව විමසීම පිණිස හමුදා ප්‍රකාශකවරයා ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.