පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවට 'කැනඩාව එනවා'

Prof GL Peiris in Delhi
Image caption සමුළුව වර්ජනය නොකරන බව කැනඩාව දැනුම් දී ඇතැයි අමාත්‍ය පීරිස් පවසයි

ඉන්දීය අගමැති වරයා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වනු ඇති බවට ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

මහාචාර්ය ජීඑල් පීරිස් ඒ බව කියා සිටියේ ඉන්දියාවේ දිල්ලි අගනුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමින්.

අගමැති මන් මෝහන් සිං හට සමුළුව සඳහා හෙට සඳුදා නිල වශයෙන් ආරාධනා කරන බව ප්‍රකාශ කළ ජීඑල් පීරිස් අමාත්‍යවරයා, රටවල් පනස් තුනක් අතුරින් කිසිදු රටක් පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගි නොවන වග දන්වා නැතැයි අවධාරණය කළේය.

කැනඩාවේ අගමැති වරයා හා විදේශ අමාත්‍ය වරයා සහභාගි නොවන බව ප්‍රකාශ කර තිබෙන නමුත් සමුළුව වර්ජනය නොකරන බව කැනඩාව දැනුම් දී තිබෙන බවයි, අමාත්‍ය පීරිස් පවසන්නේ.

නවී පිල්ලේ සංචාරය

"කැනඩාවේ පොදුරාජ්‍ය මණ්ඩල විශේෂ නියෝජිත හියු සීගල් මාස කීපයකට පෙර කොළඹ පැමිණ අපි මුණ ගැසුනා. ඔහු ප්‍රසිද්ධියේම කීවේ කැනඩාව ස්ථිර වශයෙන්ම සහභාගී වන බවයි. විසඳාගෙන නැති එකම ගැටලුව කවර මට්ටමේ සහභාගිත්වයක්ද කියන එකයි," යනුවෙන්ද ඇමතිවරයා සඳහන් කළේය.

මේ අතර මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් නවී පිල්ලේ සැප්තැම්බර් විසි හතර වැනිදාට ජිනීවාවේ පැවැත්වීමට නියමිත මානව හිමිකම් සමුළුවේ විසි හතර වැනි සැසි වාරයට පළමු ලංකාවට පැමිණෙන බව විදේශ අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නේය.

"මේ තමයි කොමසාරිස්වරියට ශ්‍රී ලංකාවේ තත්වය හොඳින් දැන ගැනීමට ලැබෙන පළමු අවස්ථාව. ඒ මගින් ඇයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යතාර්ථවාදී සහ විෂය මූලික ප්‍රවේශයකට එළඹීමේ හැකියාවක් උදාවනු ඇති කියා අපි හිතනවා."

මානව හිමිකම් සමුළු වාරයේදී වාචික නිරීක්ෂණයක් ද ලබන වසරේ මාර්තුවේදී දී පූර්ණ වාර්තාවක්ද සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ජීඑල් පීරිස් අමාත්‍ය වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.