වැලිවේරිය: හමුදා පරීක්ෂණයට හමුදාව නෑ -'ජනතාව තවමත් බියෙන්'

Miltary in Weliweriya a day after the attack (file photo)
Image caption හමුදා සෙබළුන් රාත්‍රී යාමයේ සිය නිවෙස්වලට පැමිණ තර්ජනය කරන බව ප්‍රදේශවාසීහු පවසති

නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසුන ආරක්ෂක හමුදා සෙබළුන් රාත්‍රී යාමයේ සිය නිවෙස්වලට පැමිණ තර්ජනය කරන බව පවසන වැලිවේරියේ ප්‍රදේශවාසීහු, ප්‍රදේශයේ නීතිය සහ සාමය රැකීම පොලිසියට භාර දෙන මෙන් බලධාරීන් ගෙන් ඉල්ලීමක් කරති.

මාධ්‍යවේදීන් හමුවේ ඔවුන් ඒ බව පැවසුවේ අගෝස්තු පළමු වැනි දින උද්ඝෝෂණය කළ ජනතාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන හමුදා පරීක්ෂණය වෙනුවෙන් සාක්ෂි දීම පිණිස වැලිවේරිය පොලිසියට පැමිණි අවස්ථාවේ.

හමුදා පරීක්ෂණය වෙනුවෙන් තමන් හමුදා කඳවුරුවලට කැඳවීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමෙන් අනතුරුව, ඒ සම්බන්ධයෙන් හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බව කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පසුගිය සිකුරාදා බීබීසීයට පැවසීය.

'හමුදාව දන්නේ නෑ'

ප්‍රදේශවාසීන් අද වැලිවේරිය පොලිසියට කැඳවීමට එහිදී තීරණය කෙරුණු බව ද ආචාර්ය මහානාමහේවා කියා සිටියේය.

පළාතේ බොහෝ දෙනා තවමත් භීතියෙන් පසුවන බැවින් සාක්ෂි දීම පිණිස පැමිණ සිටියේ හය දෙනකු පමණක් බව පවසන මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න, කෙසේ නමුත් හමුදාව නොපැමිණීම හේතුවෙන් සාක්ෂි විභාගයක් නොපැවති බව ද සඳහන් කරයි.

තත්වය පිළිබඳව මාධ්‍යවේදීන් සමග අදහස් දැක්වූ බොහෝ දෙනා, භීතිය නිසාම සිය නම් හෙළි නොකරන මෙන් ඉල්ලා සිටි බව ද ඔහු පැවසීය.

සාක්ෂි විභාගය පැවැත්වෙන බව පොලිසිය හමුදාවට දැනුම් දී නොතිබුණු බවයි, හමුදාව නොපැමිණීම පිළිබඳව විමසූ අවස්ථාවේ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය සංදේශයට කියා සිටියේ.

හමුදා නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ නිවාසවලට ගොස් තර්ජනය කරන බවට එල්ල වන චෝදනාව ද හමුදා ප්‍රකාශකවරයා ප්‍රතික්ෂේප කළේය.

ප්‍රදේශවාසීන්ට නීති ආධාර ලබා දීම පිණිස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් පිරිසක් ද වැලිවේරියට පැමිණ සිටි අතර, සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි විමසීමට හමුදාවට නීත්‍යානුකූල අයිතියක් නැති බව එම නීතිවේදීහු අවධාරණය කළහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර