ශ්‍රී ලංකාව තුල ‘නවී පිල්ලේට තහංචි නෑ’

  • 19 අගෝස්තු 2013

මේ මස අගදී ශ්‍රී ලංකාවට පැමිණෙන මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියට, තමන්ට අවශ්‍ය පුද්ගලයන් හා දේශපාලන කණ්ඩායම් නිදහසේ මුණ ගැසීමේ අවසරය තිබෙන බව රජය ප්‍රකාශ කරයි.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අද කොළඹදී ජනමාධ්‍ය වේදීන් අමතමින් කියා සිටියේ නවනීදම් පිල්ලේ මහ කොමසාරිස් වරියගේ ‘දෑසින්ම මේ කරුණු අධ්‍යයනය කරලා සැබැව දැනගන්න,’ ඉඩ සැලසීම සතුටට හේතුවක් බවයි.

විදේශ ගතව සිටිමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් ගැන අතීතයේදී විවිධ චෝදනා එල්ල කළ විදේශ නියෝජිතයන් ශ්‍රී ලංකාවට පැමිණ තත්වය සියැසින් දැක ගත් පසු ශ්‍රී ලංකාවට ප්‍රශංසා කළ බවද අමාත්‍යවරයා පැවසීය.

යුද අපරාධ චෝදනා

එල්ටීටීඊ යට එරෙහි යුද්ධය පැවැති අවසන් මාස කිහිපය තුල නිරායුධ දෙමළ වැසියන් 40,000ක් ඝාතනය කළ වගට ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය එල්ල කර ඇති යුද අපරාධ චෝදනා ගැන මහ කොමසාරිස්වරියට පිළිතුරු දීමට ආණ්ඩුව සුදානම් දැයි සංදේශය කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍ය අලහප්පෙරුම ප්‍රකාශ කළේ අගෝස්තු 25 වැනිදා සිට 31 වැනිදා දක්වා පවත්වන සංචාරය නිමාවේ පවත්වන මාධ්‍ය හමුවේ දී ඒ පිලිබඳව විමසන ලෙසයි.

‘එතුමිය බොහොම අවංකව යම් ප්‍රකාශයක් කළ යුතුයි කියල අපි විශ්වාස කරනවා,’ යි අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

සංචාරයෙන් පසු, මහ කොමසාරිස් නවී පිල්ලේ සැප්තැම්බරයේ දීත්, ලබන මාර්තුවේ දීත් ජගත් මානව හිමිකම් මණ්ඩලය හමුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වාර්තා දෙකක් ඉදිරිපත් කිරීමට නියමිතයි.