ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික පිළිවෙත ‘අමානුෂිකයි’

  • 2013 අගෝස්තු 22

දේශපාලන රැකවල් පතා ආ හතලිස් හය දෙනකු ඔස්ට්‍රේලියානු රජය විසින් හිතුවක්කාර ලෙස රඳවා තබාගෙන කෘර, අමානුෂික හා ගෞරවය කෙලෙසන අන්දමින් සලකන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

බහුතරයක් ලාංකික දෙමළ දේශපාලන අනාථයන් ගෙන් කැරුණු පැමිණිල්ලකට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය පවසා ඇත්තේ අත්තනෝමතික ලෙස අත් අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සම්බන්ධ මානව හිමිකම් ප්‍රඥප්තිය ඔස්ට්‍රේලියාව විසින් උල්ලංඝනය කොට ඇති බවයි.

වාර 143ක්

රැකවල් පතා ආ සංක්‍රමණිකයන් නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම මගින් ඔස්ට්‍රේලියානු රජය ජාත්‍යන්තර නීතිය එකසිය හතලිස් තුන් වතාවක් උල්ලංඝනය කොට ඇතැයි මානව හිමිකම් මණ්ඩලය පවසයි.

රඳවා තබා සිටි පිරිස රටේ ආරක්ෂාවට තර්ජනයක් බවයි ඔස්ට්‍රේලියාව පවසන්නේ.

එක්සත් ජාතීන්ගේ අලුත්ම වාර්තාව නිකුත් වී ඇත්තේ සංක්‍රමණිකයන් කේන්ද්‍රීය සාධකයක් වී තිබෙන ඔස්ට්‍රේලියානු මහා මැතිවරණ ව්‍යාපාරය දියත් වී තිබිය දීයි.