ශ්‍රී ලංකාව ‘අධිකාරීවාදී පාලනයක් කරා' -නවී පිල්ලේ

  • 2013 අගෝස්තු 31

ශ්‍රී ලංකාව ‘අධිකාරීවාදී පාලනයක් කරා ගමන් කරමින් පවතින බවට ළකුණු ඇතැ’යි මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය ප්‍රකාශ කරයි.

නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය එම අදහස පළ කළේ ශ්‍රී ලංකාවේ සංචාරය හමාර කිරීමෙන් අනතුරුව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී.

ඒ පිළිබඳව සංදේශය කළ විමසීමකදී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ ‘සැලසුම් සහගත න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවක් පෙනෙන්නට ඇති බව’යි.

ශ්‍රී ලංකාව තුළ ‘මේ වන තෙක් ව්‍යවස්ථාවෙන් පිට කිසිම දෙයක් සිදුවී නැති’ බවයි කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.

එල්ටීටීඊය ‘කුරිරු මිනීමරු සංවිධානයක්’ වශයෙන් හැඳින්වූ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය එවැනි සංවිධානයක් උත්කර්ෂවත් කිරීමට උත්සාහ දරන ඩයස්පෝරා වලට කිසිදු තැනක් හිමි නොවන බවත් සඳහන් කර ඇත.