සාක්ෂිකරුවන්ට තර්ජන 'පොදු රද සමුළුවට අයහපත් බලපෑමක්'

Amnesty International
Image caption 'ශ්‍රී ලංකාව තුල ආණ්ඩුවට විරුද්ධ අදහසක් පළ කිරීම ඉතා අවදානම් සහගත බව තහවුරු වී තිබේ'

මානව හිමිකම් ක්‍රියාධරයන් සහ විරුද්ධ මතධාරීන් තුල පවතින බිය තුරන් කිරීමට ශ්‍රී ලංකාවේ නායකයන් ක්‍රියා කළ යුතු බව ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසයි.

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ සත්-දින ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය, සිය සංචාරයේදී තමන් හමුවූ පුද්ගලයන්ට ආරක්ෂක හමුදා මගින් තර්ජන එල්ලවී ඇති බවට නවී පිල්ලේ කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රබල අවධානය පළ කොට තිබේ.

සිය සංචාරය අවසානයේ කොළඹ දී මාධ්‍ය ඇමතු මහ කොමසාරිස්වරිය, ශ්‍රී ලංකාව 'අධිකාරීවාදී පාලනයක් කරා ගමන් කරමින් පවතින බවට ළකුණු ඇතැ'යි කියා සිටියාය.

පොදු රද මණ්ඩල සමුළුව

"විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුල ආණ්ඩුවට විරුද්ධ අදහසක් පළ කිරීම ඉතා අවදානම් සහගත," බව මහ කොමසාරිච්ස්වරියගේ සංචාරයෙන්ද තවදුරටත් තහවුරු වී තිබෙන බවයි, ඇම්නස්ටි ජාත්‍යන්තරය සිය නිවේදනයේ සඳහන් කරන්නේ.

"ඇය හමුවූ පුද්ගලයන්ට එරෙහිව තර්ජන එල්ල වීම නොවැම්බරයේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට යහපත් ලෙසින් බල පානු නැති," බවයි, ආසියා ශාන්තිකර කලාපය භාර ඇම්නස්ටි ජාත්‍යන්තරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා පොලි ට්‍රස්කොට් පවසන්නේ.

ශ්‍රී ලංකාවේ සිදුවූ බව පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව යලිත් වරක් පෙන්වා දෙන මාන හිමිකම් සංවිධානය, සිය සංචාරයෙන් අනතුරුව මහ කොමසාරිස්වරිය පෙන්වා දුන් කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලය ද සාධනීය අන්දමින් ක්‍රියා කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර