මුල්ලිවයික්කාල් පුෂ්පෝපහාරයක් නැවැත්තුවා - ආණ්ඩුව

  • 2013 සැප්තැම්බර් 2
Navi Pillai in Mullivaikkal
Image caption එවැනි පුෂ්පෝපහාරයක් කළ යුත්තේ, එල්ටීටීඊ නායකයා මියගිය ස්ථානයේදී නොවන බව ආණ්ඩුවේ මතයයි

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී යුද්ධයෙන් මියගිය පුද්ගලයන්ට පුෂ්පෝපහාර දැක්වීමට කළ උත්සාහයක් වැළැක්වූ බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය සිය සංචාරයෙන් අනතුරුව ප්‍රකාශයට පත් කළ නිර්දේශයන් පිළිබඳව ප්‍රතිචාරය පළ කරන ශ්‍රී ලංකා ආණ්ඩුව, විශේෂයෙන්ම එවැනි පුෂ්පෝපහාරයක් කරන්නේ නම් එය සිදු කළ යුත්තේ, එල්ටීටීඊ නායකයා මියගිය ස්ථානයේදී නොව, තිස් අවුරුදු යුද ගැටුමෙන් මියගිය සියලු පුද්ගලයන් වෙනුවෙන් පොදු ස්ථානයකදී බව ඇයට පෙන්වා දුන් බවද පවසයි.

එවැනි පුෂ්පෝපහාරයක් සිදු කරන බව මහ කොමසාරිස්වරියගේ නිල චාරිකා කාල සටහනට අඩංගු නොවූ බවද එහි සඳහන්.

'අගතිගාමී සංවිධානයක්'

යුද ගැටුම්වලදී මියගිය පුද්ගලයන්ට උපහාර දැක්වීම සිය සංචාරවල සාමාන්‍ය සිරිතක් බවයි, ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ මහ කොමසාරිවරිය මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ.

අලුතින් පිහිටුවන ලද නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ නොව වෙනත් අමාත්‍යවරයකු යටතට පත් කළේ නම් වඩා යහපත් බවට නවී පිල්ලේ කළ සඳහන පිළිබඳව ප්‍රතිචාරය පළ කරන නිවේදනය පවසන්නේ, ස්වෛරී රාජ්‍යයක කැබිනට් අමාත්‍ය තනතුරු පැවරීම සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරිය යෝජනා ඉදිරිපත් කිරීම කිසිසේත්ම සුදුසු නැති බවයි.

එමෙන්ම යුද ගැටුම්වලින් අනතුරුව ශ්‍රී ලංකාව අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳව මහ කොමසාරිස්වරිය ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවූ අවස්ථාවේ සිය ප්‍රසාදය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

සිකුරාදා පැවති හමුවෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය ඒකකය, එක්සත් ජාතීන් අගතිගාමී සංවිධානයක් ලෙසින් රටේ ජනතාව අතර මතයක් තිබෙන බව ජනාධිපතිවරයා මහ කොමසාරිස්වරියට දැනුම් දුන් බව ද සඳහන් කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර