හෙළ උරුමය තේරීම් කාරක සභාවෙන් ඉවත් වෙයි

  • 2013 සැප්තැම්බර් 9
Image caption ‘ඒ ගොල්ලන්ට ඕනෙ නම් නන්දි කඩාල් , අපි දෙනව එක. ඒගොල්ලෝ ඉල්ලන්නේ යුද්ධය නම් ඒක අපි දෙනවා. ඒක තමිල්නාඩුවටත් එකයි. විග්නේශ්වරන් ටත් එකයි. අපේ ඉවසීමේ සීමාව මෙතනින් අවසන්’

ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා රජය විසින් පිහිටුවන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් රජයේ පාර්ශවකාර ජාතික හෙළ උරුමය ඉවත් වෙයි.

සැප්තැම්බර් විසි එක් වැනිදා ට නියමිත පළාත් සභා ඡන්දයට පෙර විසඳුම් ලබා ගැනීමට නො හැකි තත්වයක් උදා වී ඇති බැවින් මෙම තීරණයට එළැඹි බවයි ජාතික හෙළ උරුමයේ පාටලී චම්පික රණවක සඳුදා කියා සිටියේ.

මින් ඉදිරියට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ රැස්වීම් වලට සහභාගී නොවන නමුත් දෙමළ ජාතික සන්ධානයේ ‘ජාතිවාදී සහ බෙදුම් වාදී ක්‍රියාකාරකම් වලට එරෙහිව පාර්ලිමේන්තුවෙන් පිටත දී ගත හැකි සෑම පියවරක් ම ගන්නා,’ බව චම්පික රණවක ඇමැති වරයා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

'ඉවසීමේ සීමාව'

‘ඒ ගොල්ලන්ට ඕනෙ නම් නන්දි කඩාල් , අපි දෙනව එක. ඒගොල්ලෝ ඉල්ලන්නේ යුද්ධය නම් ඒක අපි දෙනවා. ඒක තමිල්නාඩුවටත් එකයි. විග්නේශ්වරන් ටත් එකයි. අපේ ඉවසීමේ සීමාව මෙතනින් අවසන්’ යැයි චම්පික රණවක පැවසීය.

ජාතික හෙළ උරුමය යෝජනා කොට තිබුණේ උතුරේ මැතිවරණයට පෙර පොලිස් හා ඉඩම් බලතල පළාත් සභා වලින් ඉවත් කළ යුතු බවයි.