ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් වලට ස්කොට්ලන්ත පොලීසියට දොස්

  • 2013 සැප්තැම්බර් 9

ශ්‍රී ලංකා රජයත් එල්.ටී.ටී.ඊ සංවිධානයත් අතර පැවති අවසන් යුද්ධයටත් පෙර සිටම ස්කොට්ලන්ත පොලිස් විද්‍යාලය විසින් ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූ බව Corporate Watch සංවිධානය විසින් මේ සතියේ පළ කරන ලද ගවේෂනාත්මක වාර්තාවක් සඳහන් කරයි.

ස්කොට්ලන්තයේ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ වැඩසටහන් අධ්‍යක්ෂක මාර්ක් බෙවන් (Mark Bevan) පවසන්නේ ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කැරෙන නීති විරෝධී රඳවා ගැනීම්, වදහිංසා කිරීම් සහ අතුරුදහන් කිරීම් හා ඒවාට වගකිවයුත්තන් හට නීති මගින් කටයුතු නොකිරීම ස්කොට්ලන්ත පොලිසිය ශ්‍රී ලංකාව තුල සිටියදී ම සිදුවීම දැඩි ලෙස සැලකිල්ලට ගත යුතු කාරණයක් බවයි.

ශ්‍රී ලංකාවේ කල සත් දින සංචාරයෙදී තමන් මුණ ගැසුණු මාධ්‍යවේදීන් සහ පූජකයන් ඇතුළු මානව හිමිකම් සුරකින්නන්ට ශ්‍රී ලංකාවේ පොලිසිය විසින් අඩන්තේට්ටම් කිරීම මානව හිමිකම් සුරැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ විසින් දැඩි ලෙස විවේචනය කිරීමෙන් සතියකට පසුවයි Corporate Watch සංවිධානය මෙම අනාවරණය කිරීම කර ඇත්තේ.

වසර හයක්

Corporate Watch සංවිධානයේ ෆිල් මිලර් (Pill Miller) පවසන්නේ ස්කොට්ලන්ත පොලීසිය විසින් වසර හයක් තිස්සේ ශ්‍රි ලංකාවේ පොලිස් නිලධාරීන් පුහුණු කරන්නේ පොලිස් පාලනයකින් යුතු රටක් නිර්මාණය කිරීමටද යන්න ගැටලුවක් බවයි.

මෙවැනි දරුණු මානව හිමිකම් උල්ලංඝනය වීම් ස්කොට්ලන්ත පොලිසිය විසින් දැඩි සැලකිල්ලට ගත යුතු බව ඔහු වැඩිදුරටත් පවසයි.

අත්අඩංගුවට පත් ස්ත්‍රීන් දුෂණය කිරීම හා ලිංගික වධහිංසා පිළිබඳ ව Human Rights Watch සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ පොලිසියට චෝදනා කර තිබෙන අතර මෑත දී ආසියානු මානව හිමිකම් කොමිසම විසින් ප්‍රකාශිත ග්‍රන්ථයක පොලිසියෙන් වද හිංසාවට පත් හාරසියයක ගේ සාක්ෂි එලි දක්වා තිබුණි.

කෙසේවුවද , බ්‍රිතාන්‍යයේ විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කාර්යාලය පවසන්නේ මෙම පුහුණු වැඩපිළිවෙළෙහි අරමුණ යුක්තිගරුක හා සාධාරණ ලෙස කටයුතු කරන ජාත්‍යන්තර ප්‍රමිතියේ පොලිසියක් ශ්‍රී ලංකාව තුල නිර්මාණය කිරීම මිස මානව හිමිකම් කඩ කිරීම් වලට දායක වීම නොවන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර