ප්‍රචණ්ඩ සංවිධානවලට රාජ්‍ය අනුග්‍රහය -චෝදනාවක්

  • 10 සැප්තැම්බර් 2013
Image caption පහර කෑමට ලක්වූ පූජ්‍ය වටරැක්කේ විජිත හිමි

බොදු බල සේනා, රාවණා බලය සහ සිංහල රාවය වැනි සංවිධාන රට තුළ ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය අනුග්‍රහය සහිත ව බව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි.

මාධ්‍ය හමුවකට එක් වෙමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි තව දුරටත් කියා සිටියේ බොදු බල සේනා වැනි සංවිධාන ප්‍රචණ්ඩත්වය ඉතා විවෘතව පාවිච්චි කරමින් සිටියත් ඔවුනට නීතියේ බලපෑමකට මුහුණ දීමට සිදු නොවන බවයි.

ගෝඨාභය

‘ගෝඨාභය රාජපක්ෂ මේගොල්ලන්ට සෘජුව හෝ වක්‍රව ආශීර්වාද කරනවා. ඒක නිසා තමයි මේ සංවිධාන පවතින්නේ.’ ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි පැවසීය.

ධර්මයේ හඬ සංවිධානය මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ පූජ්‍ය වටරැක්කේ විජිත හිමියන්ට බොදු බල සේනාවේ පිරිසක් එල්ල කළැයි පැවසෙන ප්‍රහාරයට විරෝධය පළ කිරීමටයි.

'දකින විටත් බියක්'

‘වර්තමානයේ ඇතිවී ඇති තත්වය නිසා භික්ෂූන් වහන්සේ නමක් දකින විට තමන්ට බියක් දැනෙන බව’ මාධ්‍ය හමුව ඇමතූ ප්‍රවීණ කළා ශිල්පී ධර්මසිරි බණ්ඩාරනායක පැවසීය.

‘මේ පින්වත කියන කටින්, මේ සුවපත් වේවා කියන මුවින් ... මේ විදියට තෝ, යකෝ, ගහපියව්, මරපියව්, තොපිට ඉන්න දෙන්නෙ නැහැ... කොහොමද මේ වගේ වචන කියන්නේ?’ ධර්මසිරි බණ්ඩාරනායක ප්‍රශ්න කළේය.

වටරැක්කේ විජිත හිමියන්ට තම සංවිධානයේ පිරිසක් පහර දුන් බවට නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි කියා සිටියේ තම සංවිධානයට රාජ්‍ය අනුග්‍රහය නො ලැබෙන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර