හිටපු අග විනිසුරුවරියට විදේශ ගමන් තහනම්

ශිරාණි බණ්ඩාරනායක

වත්කම් සහ බැර කම් නිසි පරිදි ඉදිරිපත් නො කිරීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කෙරුණු හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ විදේශ ගමන් තහනම් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තීරණය කල බව වාර්තා වේ.

අල්ලස් කොමිසම විසින් කල දැනුම් දීමකට අනුව අද අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ වත්කම් හෙළි නො කිරීම පිළිබඳ නඩුව විවාදයට ගත් මොහොතේ ඇය විත්ති කූඩුවේ නැගී අධිකරණය හමුවේ පෙනී සිටි බවද සඳහන්.

විත්ති කූඩුවෙන් බැස සාමාන්‍ය ආකාරයට අධිකරණය හමුවේ සාක්ෂි දෙන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ඉල්ලා සිටි මොහොතේ ඇය පවසා තිබුණේ තමන් විත්තිකාරියක බැවින් විශේෂ වරප්‍රසාද අනවශ්‍ය බවයි.

විත්තිකාරියට අදාළ චෝදනා පත්‍ර විවෘත අධිකරණය හමුවේ කියවන මෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඉල්ලා සිටීමෙන් අනතුරුව විත්තියේ නීතිඥයින් විසින් මුලික විරෝධතා මතු කර ඇත.

ඉන් පසුව, ලබන වසරේ පෙබරවාරි මස 18 වනදා තෙක් නඩු විමසීම කල් දමූ මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ එදිනට මෙම මුලික විරෝධතා සලකා බලන බවයි.

පසුව මාධ්‍යයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය පවසා තිබුණේ මෙම චෝදනා වලට හිටපු අග විනිසුරුවරිය වැරදි කරු වුව හොත් ඇයට නියම කල හැකි උපරිම දඩය වන්නේ රුපියල් දහසක පමණක්ය යන්නයි.

මෙම නඩු විභාගය සාධාරණ ආකාරයෙන් පවත්වන්නේ දැයි අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණය හමුවේ පෙනී සිටින බව සඳහන් කල නීතිඥ උපුල් ජයසුරිය ඔවුන් අධිකරණය කෙරෙහි සම්පුර්ණ විශ්වාසය තබන අතර සාධාරණය ඉටුවනු ඇතැයි අපේක්ෂා කරණ බවද පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර