මැතිවරණයට එරෙහි පෙත්සම් දෙකක් අධිකරණයේ

  • 18 සැප්තැම්බර් 2013

වග උත්තරකරුවන්ගේ කරුණු විමසීමකින් තොරව දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තහනම් කරන්නැයි ඉල්ලා සිංහල සංවිධාන එකමුතුව ගොනු කළ පෙත්සමක් සලකා බැලිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරයි.

පෙත්සම් විභාගය ඔක්තෝම්බර් මස දෙවැනිදා දක්වා කල් දැමූ අග විනිසුරු ඇතුළු ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල එදිනට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දෙමළ ජාතික සන්ධානයේ ලේකම්වරයා සහ මැතිවරණ කොමසාරිස්වරයා වෙත නොතීසි නිකුත් කිරීමට නියම කළේය.

සංවේදී කරුණක්

පෙත්සම ගොනු කළ සිංහල සංවිධාන එකමුතුව පවසන්නේ දෙමළ ජාතික සන්ධානය පළාත් සභා මැතිවරණය උදෙසා ප්‍රකාශයට පත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලින් බෙදුම්වාදය පෝෂණය කිරීමක් සිදුවන බවයි.

මෙය සංවේදී කරුණක් බැවින් වග උත්තරකරුවන්ගේද අදහස් විමසීමක් කළ යුතු බවයි අගවිනිසුරුවරයා සඳහන් කළේ.

මේ අතර උතුරු පළාත් සභා මැතිවරණය තහනම් කරන ලෙස ඉල්ලා සිංහල ජාතික පෙරමුණ ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරිණ.

මූලික විරෝධතාවක් මතු කළ රජයේ නීතිඥයා කියා සිටියේ උතුරු පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරයාගේ නියෝගයක් මත පැවැත්වෙන බැවින් එය අධිකරණය හමුවේ ප්‍රශ්න කළ නොහැකි බවයි