උතුරේ හමුදා අඩු කිරීමට බාධා - හතුරුසිංහ

  • 2013 සැප්තැම්බර් 19
Image caption 'සාක්ෂි ඉදිරි පත් වන්නේ නම් පරීක්ෂණ ඇරඹීමට සුදානම්'

දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට හමුදාවෙන් බාධා සිදු කෙරුණ බවට කිසිදු පැමිණිල්ලක් පොලිසිය වෙත හෝ තමන් වෙත ලැබී නොමැති බව යාපනයේ හමුදා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ ප්‍රකාශ කරයි.

බී බී සී සංදේශය සමග යාපනයේ දී කතා කළ හමුදා ආඥාපතිවරයා තවදුරටත් කියා සිටියේ, හමුදා බලපෑම් සම්බන්ධයෙන් නිසි සාක්ෂි ඉදිරි පත් වන්නේ නම් වහා පරීක්ෂණ ඇරඹීමට තමන් සුදානම් බවයි.

පසුගිය දා ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමු කළ දෙමළ ජාතික සන්ධානයේ සභාපති ආර් සම්බන්දන්, මැතිවරණ කටයුතු වලට යුද හමුදාවෙන් සිදු වන බාධා කිරීම් නවතා සියලු හමුදා භටයින් බැරැක්ක වලට සීමා කරන ලෙස ඉල්ලීමක් කර තිබුණි.

රනිල්

උතුරේ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ ව පසුගිය දා පාර්ලිමේන්තුවට කරුණු දැක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් යොදා ගනිමින් යාපනයේ සිදු කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට හමුදා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ ඍජුව ම වගකිවයුතු බවයි කියා සිටියේ.

දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වල දී සිදු කෙරෙන ප්‍රකාශ, පවත්නා සාමකාමී වාතාවරණයට බාධාවක් බවත් යුද හමුදා ආඥාපතිවරයා ප්‍රකාශ කරයි.

ස්වයං පාලනයක් පිහිටුවීම පිළිබඳ කෙරෙන ප්‍රකාශ මගින් උතුරේ හමුදා භට සංඛ්‍යාව අඩු කිරීම වෙනුවට අනාගතයේ දී හමුදා භට සංඛ්‍යාව වැඩි කිරීමට තුඩු දෙන අන්දමේ තත්වයක් පැන නැගීමට ඉඩ ඇති බවට මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ අනතුරු ඇඟවීමක් ද කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර