නිලධාරීන්ට අපහාස කිරීම හෙලා දකින ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය

  • 2013 සැප්තැම්බර් 27

ප්‍රාදේශීය දේශපාලනඥයන් පරිපාලන නිලධාරීන්ට අපහාස කිරීම දැඩිව හෙලා දකින බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කියා සිටී.

පුත්තලම පරිපාලන දිස්ත්‍රිකයේ ශාන්ත ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයේ ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ අනාරක්ෂාකාරී ලෙස හැර දමා ගොස් තිබූ ඡන්ද පත්‍රිකා තොගයක් හමුවූ අවස්ථාවේදී යි ප්‍රාදේශීය දේශපාලකයකු වන අශෝක වඩිගමන්ගාව , පුත්තලම දිසාපති කිංස්ලි ප්‍රනාන්දු හට බැණ වැදී ඇත්තේ.

දේශපාලන වාසි

පටු දේශපාලන වාසි සඳහා ක්‍රියා කරන්නන් රාජ්‍ය සේවය සහ මැතිවරණ ක්‍රියාවලිය කෙරේ පවතින මහජන විශ්වාසයට හානි කරන බවත්, පුත්තලමේ සිද්ධිය තමන් ලඝු නොකරන බවත් ශ්‍රී ලංකා පරිපාලන සංගමය පවසයි.

පුත්තලම දිසාපතිවරයාට බැණ වැදුණු බවට චෝදනාවට ලක්ව සිටින වයඹ පලාතේ හිටපු අමාත්‍යවරයකු වන අශෝක වඩිගමන්ගාව තමන්ට කළ අපහාසය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්නා බව පුත්තලම දිසාපති, කිංස්ලි ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

ඔහු වයඹ පළාත් සභාවට තේරී පත්වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුත්තලම තේරී පත්වූ අවසන් මන්ත්‍රීවරයා ලෙසයි.

ඡන්ද පත්‍රිකා

ඡන්ද පත්‍රිකා සිද්ධියට අදාලව සමාජයේ විවිධ අර්ථකතන දක්වමින් සිටින බව පවසන ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය, එම අනපේක්ෂිත සිද්ධිය පිළිබඳ කිසිදු සාධාරණ විමර්ශනයකින් තොරව නිගමනවලට එළඹෙමින් කරන විවේචන තරයේ හෙලා දකින බවත් කියා සිටී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර