වැලිවේරියේ වෙඩි තැබූ හමුදාව නීති රාමුව කඩලා - යුද හමුදාපති

පිරිසිදු ජලයේ අයිතිය වෙනුවෙන් උද්ඝෝෂණය කළ වැලිවේරියේ ජනතාවට වෙඩි තැබීමෙන් යුද හමුදාව නීතිමය රාමුවෙන් ඔබ්බට ගොස් ඇති බව යුද හමුදා පරීක්ෂණයෙන් සොයා ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක ප්‍රකාශ කරයි.

එසේ වෙඩි තැබූ පුද්ගලයන් යුද හමුදා අධිකරණයක් හමුවට කැඳවීම සඳහා තවදුරටත් සාක්ෂි ගොනු කරමින් සිටින බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.

යුද හමුදා පරීක්ෂණය කොටස් තුනකින් සමන්විත වූ බව පැවසූ ඔහු මේ සිද්ධියේ දී යුද හමුදාව යෙදවීම නීතියට අනුකූලව සිදුවී ඇති බව තහවුරු වී ඇතැයි සඳහන් කළේය.

නීතිමය සීමාව

එහෙත් රාජකාරියට පැවරී ඇති නීතිමය සීමාවන් ඉක්මවා ගොස් වෙඩි තැබීම් සිදු කොට ඇති බව පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වී තිබෙන්නේ යැයි යුද හමුදාපතිවරයා පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන මහේස්ත්‍රාත් අධිකරණ පරීක්ෂණයට සහ පොලිස් පරීක්ෂණයට යුද හමුදාව අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක කියා සිටියේය.

එහි දී වෙඩි තැබීම් වලට අණ දුන්නේ කවුරුන්ද යනාදී කරුණු පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

නීතියේ රාමුවෙන් ඔබ්බට ගොස් වෙඩි තැබීම් සිදු කොට ඇති හමුදා සෙබළුන්ට එරෙහිව යුද හමුදා අධිකරණයක් හමුවේ චෝදනා ගොනු කිරීම සඳහා සාක්ෂි සම්පිණ්ඩනය කරමින් සිටින බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.