ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉල්ලා අස්වීම ගැන රනිල්ගෙන් 'දින දෙකකින් තීන්දුවක්'

Image caption රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වීම පක්ෂයේ බහුතරයේ ඉල්ලීම බව සුමංගල හිමියෝ පවසති

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස් වන මෙන් කෙරුණු ඉල්ලීම පිළිබඳව ප්‍රතිචාරය පළ කිරීම පිණිස දින දෙකක කාලයක් ලබා දෙන මෙන් රනිල් වික්‍රමසිංහ විපක්ෂනායකවරයා ඉල්ලා සිටි බව පක්ෂයේ භික්ෂු සංවිධානය පවසයි.

එක්සත් භික්ෂු පෙරමුණේ ලේකම් උලපනේ සුමංගල හිමියන් ඒ බව සඳහන් කළේ, පළාත් සභා මැතිවරණ පරාජයෙන් අනතුරුව එජාප ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාව පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.

රනිල් වික්‍රමසිංහට නායකත්වයෙන් ඉල්ලා අස් වී පස් දෙනකු, හත් දෙනකු හෝ නව දෙනකු ගේ සාමාජිකත්වයෙන් යුත් නායකත්ව මණ්ඩලයකට නායකත්වය පවරන මෙන් එක්සත් භික්ෂු පෙරමුණේ දූත පිරිස යෝජනා කළ බවයි, එහිමියන් පවසන්නේ.

ඉදිරිපත්ව තිබෙන යෝජනාවට අනුකූලව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහද එම නායකත්ව මණ්ඩලයේ සාමාජිකයෙක්.

විපක්ෂනායකවරයා ඇතුළු පිරිස සමඟ සාකච්ඡා පැවැත්වීමට පෙර එක්සත් භික්ෂු පෙරමුණ සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් සමඟ සාකච්ඡා පැවැත්වූ බවද එහිමියෝ සඳහන් කළහ.

පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීම විපක්ෂනායකවරයා කිසියම් ලෙසකින් ප්‍රතික්ෂේප කළ හොත් ඔහු 'ඉවත් කිරීමේ සටනට පණ දෙන' බවයි, සංදේශය කළ විමසීමකදී සුමංගල හිමියන් කියා සිටියේ.