රතුපස්වල ජනතාව 'තවමත් පිපාසයෙන්'

  • 2013 ඔක්තෝබර් 7
rathupasvala
Image caption රතුපස්වල ප්‍රදේශවාසීන්ට එල්ල වූ හමුදා ප්‍රහාරයෙන් තිදෙනකු මරුමුවට පත් විය

රතුපස්වල ප්‍රදේශවාසීන්ට තවමත් සිය දෛනික ජල අවශ්‍යතා සපුරා ගැනීමට සිදුව ඇත්තේ බවුසර මගින් බෙදා හරින ජලයෙන් බව තෙරිපැහැ සිරිධම්ම හිමියෝ චෝදනා කරති.

එසේ බෙදා හරින ජලය පවා බෙදා හැරීම ඇතැම් විට දින ගණනක් යන තුරු සිදු නොවන බැවින් ජනතාව අපහසුවට පත්ව සිටින බවද වෙනිග්‍රොස් කර්මාන්තශාලාවෙන් පිට වන අපවිත්‍ර ජලය මගින් පානීය ජලය විෂ වී ඇතැයි උපවාසයක යෙදුන සිරිධම්ම හිමියෝ පවසති.

වැලිවේරියවාසීන්ට බලධාරීන් දුන් ප්‍රතිඥා ඉටු කරන මෙන් ඉල්ලා සිටිමින් ඉරිදා පැවති සාම පා ගමනකින් අනතුරුව බීබීසී සංදේශයට කැරුණු දැක්වූ සිරිධම්ම හිමියෝ මූලික ඉල්ලීම් තුනක් අරමුණු කරගෙන එම සාම පා ගමන පැවැත්වූ බව සඳහන් කළහ.

'කම්හල දිගටම'

අදාල කම්හල ප්‍රදේශයෙන් ඉවත් කිරීම, මූලික ගෙවීමකින් තොරව ජලය ලබාදීම හා තාවකාලිකව ලබාදෙන ජලය විධිමත්ව බෙදා හැරීමට කටයුතු කිරීම ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම් බවයි, එහිමියන් පවසන්නේ.

එම ඉල්ලීම් නොතකා හරිමින්, චෝදනාවට ලක්වූ කර්මාන්ත ශාලාව ඉවත් නොකර පැවති ස්ථානයේම පවත්වාගෙන යාමට තවමත් උත්සාහ දරන බවට උන්වහන්සේ බලධාරීන්ට චෝදනා කරති.

විශේෂයෙන්ම පොරොන්දු වූ ප්‍රකාර වැලිවේරියේ ජනතාවට විධිමත්ව පානීය ජලය ලබාදීමට ජනාධිපතිවරයා අසමත්ව ඇතැයි තෙරිපැහැ සිරිධම්ම හිමියෝ පවසති.

එමෙන්ම කර්මාන්තශාලාවේ අපද්‍රව්‍ය හේතුවෙන් ජලය අපවිත්‍ර වීමට අදාල පරීක්ෂණ නිම වී ඇති බව පවසන තෙරිපැහැ සිරිධම්ම හිමියෝ දිස්ත්‍රික් ලේකම් වරයා එම වාර්තාව 'සඟවාගෙන සිටීම' පිළිබඳවද තම නොසතුට පළ කළහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර