දෙමළ ජනතාවට ස්වයං නීර්ණ අයිතිය අවශ්‍යයි - මහ ඇමති

CV Wigneshwaran taking oaths as the new CM of Northern Province
Image caption දෙමළ ජනතාවට ස්වයං නීර්ණ අයිතිය ලබා දීම මගින් ශ්‍රී ලංකාව බෙදා වෙන් නොකෙරෙන බව මහ ඇමතිවරයා අවධාරණය කරයි

දෙමළ ජනතාවට ස්වයං නීර්ණ අයිතිය ලබා දීම මගින් ශ්‍රී ලංකාව බෙදා වෙන් නොකෙරෙන බව අවධාරණය කරන උතුරු පළාතේ නව මහ ඇමතිවරයා, ඒ මගින් සිදු වන්නේ රටේ ජන කොටස් අතර සමගිය වර්ධනය වීම බව අවධාරණය කරයි.

උතුරු පළාතේ මහ ඇමතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සීවී විග්නේශ්වරන්, ස්වයං නීර්ණ අයිතිය ලබා ගැනීම පිණිස ප්‍රචණ්ඩත්වයට යොමු වීමට ලාංකීය සමාජය තුල තවදුරටත් කිසිදු ඉඩක් නොමැති බවද අවධාරණය කරයි.

"සිංහල ජනතාව තමන්ගේ භාෂාව සහ සංස්කෘතිය අගය කරන්නේ යම් සේද, ඒ ආකාරයෙන්ම දෙමළ ජනතාවද සිය භාෂාවට සහ සම්ප්‍රදායයන්ට ගරු කරන බව වටහා ගන්නා මෙන් මම සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටිමි," යනුවෙන්ද නව මහ ඇමතිවරයා සිය නිවේදනයේ සඳහන් කරයි.

සන්ධානයේ මතභේද

අගමැති දිමු ජයරත්න සහ ඩග්ලස් දේවානන්ද, මෛත්‍රීපාල සිරිසේන, රවුෆ් හකීම්, සහ වාසුදේව නානායක්කාර අමාත්‍යවරුන්, උතුරු පළාතේ ආණ්ඩුකාර මේජර් ජනරාල් ජීඒ චන්ද්‍රසිරි සහ දෙමළ ජාතික සන්ධානයේ නායකයන් පිරිසක්ද සීවී විග්නේශ්වරන් මහ ඇමතිවරයා ලෙසින් දිවුරුම් දීමේ අවස්ථාවට එක් වී සිටියහ.

මහ ඇමතිවරයා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් නායකයන් විරෝධය පළ කොට තිබෙන අතර, එයට විරෝධය දැක්වීමක් වශයෙන් නව මහ ඇමතිවරයා ඉදිරියේ තමන් දිවුරුම් නොදෙන බව සන්ධානයෙන් තේරී පත්වූ ආනන්දි සසීහරන් මන්ත්‍රීවරිය පවසා තිබෙන බව වාර්තාවල දැක්වේ.

යුද අපරාධවලට සම්බන්ධ පුද්ගලයකු ලෙසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් නම් කරනු ලැබ සිටින ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට සීවී විග්නේශ්වරන් ගත් තීරණය සදාචාර සම්පන්න නැතැයි ශ්‍රී ලංකා දෙමළ නීතිවේදීන්ගේ සංගමය බීබීසී සංදේශයට පැවසීය.

පළාත් සභාවේ අමාත්‍ය පදවි බෙදා ගැනීම සම්බන්ධයෙන්ද දෙජාස (ටීඑන්ඒ) නායකයන් අතර මතභේද හට ගෙන තිබේ.

පසුගිය සැප්තැම්බර් විසි එක් වැනිදා පැවති පළමු උතුරු පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කර ගත්තේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර