මාදම්පේ ප්‍රදේශවාසීන් හා පොලිසිය අතර ගැටුම්

මාදම්පේ පොලිස් වසමට අයත් මැල්ලවාගාර ප්‍රදේශයේ දී, දුම්මලසුරිය පොලිසියට අයත් නිලධාරීන් සාමාන්‍ය ජනතාවට පහර දීමෙන් පසුව හට ගත් ආරවුලක දී වෙඩි වැදුණු ගම්වැසියෙක් රෝහල් ගත කල බව ප්‍රදේශ වාසීහු ප්‍රකාශ කරති.

මාර්ග නීති කැඩූ බවට චෝදනා ලැබූ රියදුරෙකුට දරුණු අන්දමින් පහර දීමට එරෙහිව ප්‍රදේශවාසීන් සහ පොලිසිය අතර මෙම ගැටුම ආරම්භ වූ බවයි ප්‍රදේශවාසීන් සංදේශයට කියා සිටියේ.

'වකුගඩුවක් දන් දී'

තමන් වකුගඩුවක් දන් දී සිටින්නෙකු බව දිගින් දිගටම ප්‍රකාශ කලත් ඒ ගැන නො තකා තමාට දරුණු ලෙස පහර දුන් බව රෝහල් ගත වී සිටින උපුල් කුමාරසිංහ සංදේශයට ප්‍රකාශ කළේ ය.

මෙම සිද්ධියේ දී පොලිස් වෙඩි පහරට ලක් වූ 42 හැවිරිදි රූබන් ප්‍රනාන්දු හලාවත රෝහලේ ප්‍රතිකාර ලබන අතර, වෙඩි තැබීමෙන් පසු ප්‍රදේශවාසීන් පොලිස් නිලධාරීන් වෙත පහර එල්ල කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නිලධාරීන් දෙදෙනෙක් කුලියාපිටිය රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.

සිද්ධිය පිළිබඳ ප්‍රකාශයක් කළ පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටියේ රථවාහන නීතිය ක්‍රියාත්මක කිරීමේ යෙදී සිටි නිලධාරීන් ගේ රාජකාරියට බාධා කල බීමත් පුද්ගලයකු පොලිසිය හා ගැටීමෙන් පසු පිරිසක් විසින් පොලිස් නිලධාරීන්ට පහර දී ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර