දෙජාස එක පක්ෂයක් පමණක් ගන්නා තීරණ අනුව වැඩ කරනවා - ටෙලෝ මන්ත්‍රී සිවාජිලිංගම්

දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ පහක් තිබුනත් එක පක්ෂයක් පමණක් ගන්නා තීරණ අනුව වැඩ කිරීමට සිදුව ඇති බව පවසන ටෙලො මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඊට විරෝධය පල කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඊයේ, සිකුරාදා උතුරු පළාත් සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් දිවුරුම් දීමේ උත්සවය වර්ජනය කළ බව ප්‍රකාශ කරයි.

උතුරු පළාත් සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් දිවුරුම් දීම යාපනය වීරසිංහම් ශාලාවේ දී ඊයේ සිදුවූ අතර එය ද්‍රවිඩ ජාතික සන්ධානය හා සම්බන්ධ දේශපාලන පක්ෂ තුනක සාමාජිකයින් විසින් වර්ජනය කරන ලදී.

ඊපීආර්එල්එෆ් සංවිධානයේ ප්ලොට් සංවිධානයේ සහ ටෙලෝ සංවිධානයේ මන්ත්‍රීවරු නව දෙනෙක් යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවති උත්සවය වර්ජනය කළහ.

අද, සෙනසුරාදා යාපනයේ මාධ්‍ය හමුවක දී ටෙලෝ සංවිධාන මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පැවසුවේ ඊයේ දිවුරුම් දීම වර්ජනය කළ මන්ත්‍රීවරුන් නව දෙනා ලබන 14 වැනිදා මුලතිව් දිස්ත්‍රික්කයේදී දිවුරුම් දෙන බවයි.

ඊපීආර්එල්එෆ් සංවිධානයේ ප්ලොට් සංවිධානයේ සහ ටෙලෝ සංවිධානයේ මන්ත්‍රීවරුන් ට අමාත්‍ය තනතුරු නොදීම නිසා ඔවුන් දිවුරුම් දීම් වර්ජනය කළ බවට දෙමළ ජාතික සන්ධානයේ නායකයන් චෝදනා කලත් ඇත්ත තත්වය එය නොවන බවයි එම්.කේ. සිවාජිලිංගම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

දෙමළ ජාතික සන්ධානය සෙසු පක්ෂ මෙන් ලියා පදිංචි කරන ලෙස හෝ එසේ නැත්නම් පෙරමුණක් ලෙස ලියා පදිංචි කරන ලෙස හෝ තමන් ඉල්ලා සිටි බව පැවසූ ඔහු මින් ඉදිරියට එක්සත්ව කටයුතු කරන ලෙසට අද දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලා සිටි බව කියා සිටියේය.