පොලීසිය ළමා දූෂක සැකකරු අත් අඩංගුවට ගෙන නැහැ

වවුනියාවේ ළමා අපචාර චෝදනා එල්ලවූ ළමා නිවාසයක් වසා දමා ඇති අතර එහි නේවාසිකව සිටි ළමුන් පිළිබඳව නිශ්චිත තොරතුරු දැන ගන්නට නැතැයි පරිවාස නිලධාරියෙක් ප්‍රකාශ කරයි.

වවුනියාවේ ඇටඹගස්කඩ ප්‍රදේශයේ පිහිටි එම ළමා නිවාසයේ දී පිරිමි ළමයකුට සිදු කල ලිංගික අපචාර වලට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට නොගැනීම පිළිබඳව පරිවාස නිලධාරීන්ගේ සංගමය පොලීසියට සහ ළමා ආරක්ෂණ අධිකාරියට සිය විරෝධය පල කර සිටී.

පොලීසියට පැමිණිලි

සතියකට පෙරදී ළමා නිවාසයේ අපයෝජනයක් සිදුවී ඇති බවට වාර්තාවී ඇති බවත් අපයෝජනයට ලක් වූ දරුවාගේ මව විසින් පොලීසියට පැමිණිලි කොට ඇති බවත් පරිවාස නිලධාරීන්ගේ සංගමයේ ලේකම් කේ.කේ.කීර්තිරත්න පැවසුවේය.

එම දරුවා පොලීසියට දී ඇති ප්‍රකාශයෙන් විත්තිකරු හැටියට ළමා නිවාසයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ලෙස ක්‍රියා කරන භික්ෂුත් වහන්සේ නමක් නම් කොට ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

විත්තිකරු අත් අඩංගුවට ගැනීමට වවුනියාව පොලීසිය හෝ ළමා ආරක්ෂණ අධිකාරිය හෝ සතියක් ගත වන තුරුත් පියවර ගෙන නැති බව පරිවාස නිලධාරීන්ගේ සංගමයේ ලේකම් කේ.කේ.කීර්තිරත්න සඳහන් කළේය.

අදාළ ළමයා අපයෝජනයට ලක් කොට ඇති බව වෛද්‍ය වාර්තාවල සඳහන් වන බවයි ඔහු පැවසුවේ.

විත්තිකරුවා ළමා නිවාසයේ

විත්තිකරුවා තවමත් ළමා නිවාසයේ නේවාසිකව සිටින අතර ළමා ආරක්ෂක අධිකාරිය එහි පැමිණ ළමයින් විසි දෙදෙනකු කොළඹ ප්‍රදේශයට ගෙන ගොස් ඇති නමුත් පරිවාස දෙපාර්තමේන්තුව හෝ දෙමාපියන් හෝ ළමුන් සිටින ස්ථාන පිළිබඳව නොදන්නා බව පරිවාස නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මේ සිද්ධියේ දී ළමා ආරක්ෂණ අධිකාරිය නිසි පරිදි කටයුතු කර නැති බවට පරිවාස නිලධාරීන්ගේ සංගමයේ ලේකම් කේ.කේ.කීර්තිරත්න චෝදනා කළේය