ඩීඑස්අයි උද්ඝෝෂකයා අත් අඩංගුවට ගැනීමෙන් පසු දොරපේ 'භීෂණයක්'

ගම්වාසීන්ගේ උද්ඝෝෂණ
Image caption වසර දෙකක් ඇතුලත වැලිකොන්ද වැසියන් 26 දෙනකු පිලිකාවෙන් මියගොස් තිබේ

ඩීඑස්අයි සමාගමට අනුබද්ධ රබර් කර්මාන්ත ශාලාවෙන් පිට වන විෂ වායුව පාලනය කිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලමින් උද්ඝෝෂණයට එක්ව සිටි පුද්ගලයකු සිකුරාදා උදෑසන පොලිස් ත්‍රස්ත විරෝධී ඒකකය විසින් අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව පළාතේ බොහෝ දෙනා භීතියෙන් තැති ගැනී සිටින බව ප්‍රදේශවාසීහු පවසති.

කනත්ත ගමගේ නෝබට් සිල්වා ගේ නිවසට අලුයම දෙකට පමණ කඩා වැදුණු ත්‍රස්ත විරෝධී පොලිසිය අත් බෝම්බ සහ පතරොම් සමඟ ඔහු අත් අඩංගුවට ගත් බවයි, ප්‍රදේශවාසී මාධ්‍යවේදියකු වන රත්නසිරි නල්ලපෙරුම බීබීසී සංදේශයට කියා සිටියේ.

දොරපේවාසී ජනතාව බෝම්බ හෝ වෙනත් ආයුද භාවිත කරන බවක් මීට පෙරාතුව තමන්ට දැන ගන්නට ලැබී නැතැයි පවසන ඔහු, එස්ආර්ආර්අයි කම්හලේ පරිසර දූෂණයට එරෙහිව උද්ඝෝෂණවලට සම්බන්ධ වීමෙන් අනතුරුව සති කිහිපයක් තිස්සේ ගම්වාසීන්ට නිර්නාමික දුරකථන ඇමතුම් ලැබෙමින් තිබෙන බවද සඳහන් කළේය.

'සම්බන්ධයක් නෑ'

"මිනිස්සු ඉල්ලන්නේ ජීවත්වීමේ අයිතිය. හුස්ම ගැනීමේ සහ පිරිසිදු ජලය පානය කිරීමේ අයිතිය. අනික මේකට පලවෙනි උත්තේජනය දුන්නේ අක්මීමන සහ ඉමදුව ප්‍රදේශය සභා සභාපතිවරු," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

නිවසේ ආයුධ තිබුනේ කෙසේ දැයි පවුලේ සාමාජිකයන් විමතිය පළ කරන බව පවසන රත්නසිරි නල්ලපෙරුම කර්මාන්ත ශාලා බලධාරීන් විසින් කිසිවකු හෝ යොදා ගෙන නෝබට් සිල්වාගේ නිවසේ ආයුධ තැන්පත් කළේදැයි ගම්වාසීන් සැක කරන බවද සංදේශයට පැවසීය.

අත් අඩංගුවට ගන්නා ලද සිය සේවාදායකයා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන තිස් වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලද බව නෝබට් සිල්වාගේ නීතිවේදී බුද්ධි ජයවර්ධන සංදේශයට පැවසීය.

සැකකරුගේ නිවස තුල නොව නිවස පිහිටි ඉඩමේ සීමාව තුල දී පුපුරන ද්‍රව්‍ය හමුවූ බව සංදේශයට පැවසූ පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ, එම පුපුරණ ද්‍රව්‍ය වෙනත් කිසිවෙකු විසින් එහි තැන්පත් කළේද යන්නත් සොයා බලන බවද සඳහන් කළේය.

"මේ බොරු තොරතුරක් නම් දීල තියෙන්නේ ඒ ගැන විභාග කරනවා. යම්කිසි ආකාරයකට කිසිම සම්බන්ධයක් නැති කෙනෙක් වරදකට පටලන්න උත්සාහ කරලා තියෙනව නම් ඒ ගැන අපි කටයුතු කරනවා," යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ නමුත්, කම්හලට එරෙහි උද්ඝෝෂණය සහ ඔහු අත් අඩංගුවට ගැනීම අතර කිසිදු සම්බන්ධයක් නැති බවයි, පොලිස් ප්‍රකාශකවරයා පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර