ළමා නිවාසයේ ලිංගික අපචාර විමර්ශන ළමා ආරක්ෂණ අධිකාරියට

Image caption ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ

වවුනියාවේ ඇටඹගස්කඩ ප්‍රදේශයේ ළමා නිවාසයක දී පිරිමි ළමයකුට සිදු කල ලිංගික අපචාර සිද්ධියට අදාළ විමර්ශන සම්පූර්ණයෙන්ම ළමා ආරක්ෂණ අධිකාරිය විසින් සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

එම දරුවා අපයෝජනයට ලක් කොට ඇති බවට 2012 වසරේ දී ද පැමිණිල්ලක් ලැබී තිබුණු බව පැවසූ ඔහු කියා සිටියේ එම අවස්ථාවාදී පොලීසිය විසින් පැමිණිල්ලක් සටහන් කොට අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත ඉදිරිපත් කළ බවයි.

අධිකරණ වෛද්‍යවරයා විසින් දුන් වාර්තාවට අනුව දරුවා එම අවස්ථාවේ දී අපයෝජනයට ලක් වී නැති බවට තහවුරු වී ඇති බව ඔහු පැවසුවේය.

සතියකට පෙර පොලීසියට පැමිණ පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දරුවා අපයෝජනයට ලක් කර ඇති බවට දැන් තහවුරු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

එහෙත් දෙවැනි අවස්තාවේදී දරුවා ළමා නිවාසයේ නොව ඔහුගේ දෙමාපියන් හෝ භාර කරුවන් හෝ යටතේ සිට ඇති බවයි ඔහු කියා සිටියේ.