විස වායු පිට කළ සමාගම ට 'අතීතයේත් චෝදනා'

හැත්තෑවකට අධික පිරිසක් රෝහල් ගත කිරීමට බලපෑ විස වායු පිට කළේ පරිසරයට හානිකර නොවන බවට අධිකරණයෙන් ද තීන්දු කොට තිබුණු කර්මාන්ත ශාලාවක් බව පීඩාවට පත් බටකැත්තර ගම් වාසීහු පවසති.

රසායනික ප්‍රතික්‍රියාවකින් පිටවූ වායු විස වීමෙන් අනතුරුව පිළියන්දල එස් ඇන්ඩ් ඩී කෙමිකල්ස් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බවයි මධ්‍යම පාරිසරික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සාරංග අලහප්පෙරුම බීබීසී සංදේශයට ප්‍රකාශ කළේ.

කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදරු මාතාවක් බීබීසී සංදේශය හා ප්‍රකාශ කළේ අඟහරුවාදා පිටවූ විස වායුවෙන් පීඩාවට පත් තමන් හා දරුවන් ඇතුළු ගම් වාසීන් සැලකිය යුතු පිරිසක් ශ්වසන අවහිර හේතුවෙන් පිළියන්දල හා කළුබෝවිල රෝහල් වලට ඇතුලත් කරනු ලැබූ බවයි.

උසාවියෙන් 'පරාජයක්'

අනතුර සිදුවීමට පෙරත් කම්හලින් දු ගඳ වායු මුදා හැරුණු අවස්ථාවල බටකැත්තර ගම්වාසීන් විරෝධය පෑ බවයි සිය නම් හෙළි කිරීමට බිය පළ කළ රෝහල් ගත ව සිටි ඇතැමුන් ප්‍රකාශ කළේ.

සේදුම් කාරක නිපදවන එම කම්හල නිසා ප්‍රදේශයේ ළිං ජලය පවා පානය කළ නො හැකි තත්වයක් උදා වූ කල අධිකරණය හමුවට ගිය ද තමන් එහිදී ‘පරාජය වූ’ බවයි, ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

එස් ඇන්ඩ් ඩී කෙමිකල්ස් කම්හලින් පිටවූ විස වායු සම්බන්ධයෙන් කරන ලද මුලික වාර්තාව අධ්‍යයනයෙන් පසු පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් මහාචාර්ය අජිත් ද අල්විස් ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුවක වාර්තාව සති දෙකකින් අපේක්ෂා කරන බවයි මධ්‍යම පාරිසරික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වැඩි දුරටත් කියා සිටියේ.

අනතුරට පත් තමන් පිලිබඳව සොයා බැලීමට හෝ කම්හල් නියෝජිතයන් කිසිවකුත් අඟහරුවාදා රාත්‍රිය වනතුරුත් නොපැමිණි බව රෝහල් ගතව සිටින ගම්වාසීහු මේ අතරප්‍රකාශ කළහ.