උතුරේ කාන්තාවන්ගෙන් වන්ධ්‍යකරණ චෝදනා

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වෙරළාසන්න ගම්මාන කිහිපයක කාන්තාවන් බලහත්කාරයෙන් වන්ධ්‍යකරණයට ලක් කොට ඇති බවට යාපනය කතෝලික දියෝකීසියේ සාමය සහ යුක්තිය කොමිසම ප්‍රකාශ කරයි.

වතිකානයේ කොළඹ සිටින අපෝස්තලික තනාපති ජෝසප් ස්පිටේරි පියතුමා වෙත ලිපියක් යවන එම සංවිධානයේ සභාපති එස් .වී. බී.පි.මන්ගලරාජා පියනම තවත් කරුණු ගණනාවක් ඇතුලත් ලිපියේ මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කොට තිබේ.

එම ලිපියේ සඳහන් වන පරිදි දෙදස් දහතුනේ අගෝස්තු තිස් එක් වෙනිදා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වාලේයිපාඩු, වේරාවිල්, සහ කිරන්චි යන ගම්මානවල කාන්තාවන් මෙසේ බලහත්කාරයෙන් වන්ධ්‍යකරණයට ලක් කොට ඇත.

මන්ගලරාජා පියනම විස්තර කරන ආකාරයට එදින කිලිනොච්චියේ සිට පැමිණි සාත්තු සේවිකාවන් සහ වින්නඹු මාතාවන් විසි දෙනකුට වැඩි පිරිසක් ගෙයින් ගෙට ගොස් වයස අවුරුදු පහට අඩු දරුවන්ද රැගෙන එම කාන්තාවන්ට වේරාවිල් දිස්ත්‍රික් රෝහල වෙත පැමිණෙන ලෙසට උපදෙස් දී ඇත.

දරුවන්ගේ බර කිරීම සඳහා සායන වාර්තා ද රැගෙන පැමිණෙන ලෙස පවසා ඔවුන් ගිලන් රථ මගින් රෝහල වෙත ගෙන ගොස් ඇති බවයි එම ලිපියේ සඳහන් වන්නේ.

බලපෑම්

එසේ පැමිණි කාන්තාවන්ට වෛද්‍යවරුන් සහ සාත්තු සේවිකාවන් වෛද්‍ය උපදෙස් ලබා දෙන අන්දමට බලපෑම් කරමින් පවසා ඇත්තේ අතේ ඉහල කොටසේ උපත් පාලනය කෙරෙන හෝමෝනයක සම යට තැන්පත් කළ යුතු බවයි.

එම කාන්තාවන් ඊට අකමැත්ත ප්‍රකාශ කළ විට එසේ නම් තමන්ට රෝහලෙන් ලැබෙන ප්‍රතිකාර අනාගතයේ දී නොලැබී යන බවට තර්ජනය කොට ඇති බවත් එසේත් නැත්නම් ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් කැඳවා ඔවුන් එම ක්‍රියාවලියට ලක් කරන බවට අනතුරු අඟවා ඇති බවත් එම ලිපියේ දක්වා තිබේ.

බොහෝ කාන්තාවන්ට පසුව ඊට එකඟත්වය පල කිරීමට බල කෙරී ඇති බව පවසන මන්ගලරාජා පියනම මෙම ප්‍රතිපත්තිය ගැන සාමය සහ යුක්තිය කොමිසම විශාල වශයෙන් කනස්සල්ලට පත්ව සිටින බවත් එය පළාතේ ජනගහනය අඩු කිරීමට ගත් පියවරක් ලෙස සලකන බවත් ප්‍රකාශ කරයි.

බීබීසී දෙමළ සේවය හා කතා කළ මන්ගලරාජා පියනම පැවසුවේ තමන්ට මේ තොරතුරු පළාතේ පූජකවරුන්ගෙන් ලැබුන බවයි.

පියනම පැවසුවේ තමන්ට දන ගන්නට ලැබී ඇති පරිදි කතෝලික පමණක් නොව හින්දු කාන්තාවන් ද ඇතුළු කාන්තාවන් පනස් දෙනකු ට වන්ධ්‍යකරණය සිදු කොට ඇති බවයි.

පැමිණිලි

මේ සම්බන්ධයෙන් උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආර්.රවින්ද්‍ර න් ගෙන් බීබීසී දෙමළ සේවය කළ විමසුමක දී ඔහු පැවසුවේ එවැනි පැමිණිලි ප්‍රදේශවාසීන්ගෙන් තමන්ට ලැබී ඇති බවයි.

ඒ පිළිබඳව විභාග කිරීම සඳහා කමිටුවක් පත් කොට ඇති බව පැවසූ ඔහු තවදුරටත් කියා සිටියේ වරද කරුවන්ට එරෙහිව පියවර ගන්නා බවයි.

2009 වසරේ යුද්ධයේ අග භාගයේ සිදුවී ඇති බවට පැවසෙන මානව හිමිකම් කඩ කිරීම්, බලහත්කාරයෙන් සාමාන්‍ය ජනතාවගේ ඉඩම් අත් පත් කර ගැනීම, දේශපාලන සිරකරුවන්ගේ ඛේදනීය තත්වය, වන්නි ප්‍රදේශයේ කාන්තාවන්ට සහ දැරියන් ගේ අනාරක්ෂිතභාවය රජයේ සහය ඇතිව උතුරු නැගෙනහිර පලාත්වල සිංහල ජනතාව පදින්චි කරවීම, උතුරු නැගෙනහිර පලාත්වල බෞද්ධ ප්‍රතිමා සහ විහාර ඉදිකිරීම සහ මාධ්‍යයට එල්ල කෙරෙන බලපෑම් ගැනත් කතෝලික දියෝකීසියේ සාමය සහ යුක්තිය කොමිසම වතිකානයේ කොළඹ සිටින අපෝස්තලික තනාපතිවරයාට යවන ලද ලිපියේ සඳහන් කොට තිබේ.