මහ පිරිසකට 'අතුරුදහන් කොමිසමින් පලක් නැහැ'

Sandya Eknaligoda

ශ්‍රී ලංකාවේ අතුරුදහන් වුවන් පිලිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමට පැමිණිලි කිරීමේ අයිතිය විශාල පිරිසකට අහිමි කොට ඇති බව සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි.

අලුතින් පත් කැරුණු කොමිසමට නියම වී ඇති නිරීක්ෂණ කාල පරාසය 1990 ජුනි 10 සිට 2009 මැයි 19 වනදා දක්වා සීමා කිරීම නිසා තමනට ද අතුරුදහන් වූ සිය සැමියා ගැන පැමිණිලි කිරීමට නොහැකි වී ඇති බවයි ඇය පවසන්නේ.

සන්ධ්‍යා ගේ සැමියා ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් වුයේ 2010 ජනාධිපතිවරණයට දින දෙකකට පෙර බව ඇය ජනාධිපතිවරයාට යවන ලිපියකින් පෙන්වා දී ඇත.

බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේ දී අතුරුදහන් වූ තම සැමියා ද ඇතුළුව මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාධරයින් සහ සාමාන්‍ය පුරවැසියන් සියයකට නො අඩු ප්‍රමාණයක් 2009 මැයි 19 වනදායින් පසු අතුරුදහන් වුවන් අතරට වැටෙන බවයි සන්ධ්‍යා එක්නැලිගොඩ පවසන්නේ.

ඇයගේ ලිපියේ සඳහන් වන අයුරු 2011 ඔක්තෝබර් මස සිට 2012 මාර්තු දක්වා වූ මාස හයක කාලය තුල පමණක් අතුරුදහන් වූ පුද්ගලයින් 56 ක් වන අතර ඉන් 39 ක් රජය මගින් සහතික කොට ඇත.

මේ අයගේ අතුරුදහන් වීම විමර්ශනය කිරීම සඳහා වෙනත් කොමිසමක් පත්කරන්නේදැයි විමසන ඇය එය දරු දෙදෙනා සමග කටුක වින්දිත භාවයට පත්ව සිටින තමන්ටත් තවත් බොහෝ අයටත් යුක්තිය ඉටුකිරීමක් ලෙස අවධාරණය කරයි.